1. 3. 2. 4.
දුතිය ධම්ම කථික සූත්‍රය
116. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණෙකින් ධම්මකථික වේ ද? කොපමණෙකින් ධම්මානුධම්මපටිපන්න වේ ද? කොපමණෙකින් දිටුදැමියෙහි නිවනට පැමිණියේ වේ දැ යි.
මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වේ. මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් රූපයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් (ඒ) මහණ දිටුදැමියෙහි නිවනට පැමිණියේ ය යි කියන්නට සුදුසු වෙයි.
මහණ, ඉදින් වේදනායෙහි ... මහණ, ඉදින් සංඥායෙහි ... මහණ, ඉදින් සංස්කාරයන්හි ... මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” යයි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම්, (ඒ) මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු වේ.
1. 3. 2. 5.
බන්‍ධන සූත්‍රය
117. සැවැත්නුවර:
මහණෙනි, බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා ... සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, රූපවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ රූපය දකියි, රූපයෙහි හෝ ආත්මය දකියි, මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන රූපබන්‍ධනයෙන් බැඳුණේ අභ්‍යන්තර බාහිර බන්‍ධනයෙන් (ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන්) බැඳුණේ සංසාර වර්‍තය නො දක්නේ නිර්‍වාණපාරය නො දක්නේ (ක්ලේශබන්‍ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොවට යේ යි කියනු ලැබෙයි.
මහණෙනි, වේදනාව ආත්ම විසින් දකියි … වේදනායෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන වේදනාබන්‍ධනයෙන් බැඳුණේ අභ්‍යන්තර බාහිර (සංයෝජන) බන්‍ධනයෙන් බැඳුණේ සසරවට නො දක්නේ නිවන නො දක්නේ බැඳුණේ උපදියි. බැඳුණේ මියෙයි. බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.
සංඥාව ... සංස්කාර ආත්ම වශයෙන් දකියි ... සංස්කාරයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන සංස්කාර බන්‍ධනයෙන් බැඳුණේ, ආධ්‍යාත්මික බාහිර බන්‍ධනයෙන් බැඳුණේ, සසරවට නො දක්නේ, නිවන නො දක්නේ, බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යෙ යි කියනු ලැබෙයි.
විඥානය ආත්ම වශයෙන් දකියි , විඥානවත් හෝ ආත්මය දකියි, ආත්මයෙහි හෝ විඥානය දකියි, විඥානයෙහි හෝ ආත්මය දකියි. මහණෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජන සංසාර වර්‍තය නො දක්නේ නිර්‍වාණපාරය නො දක්නේ (ක්ලේශ බන්‍ධනයෙන්) බැඳුණේ උපදියි, බැඳුණේ මියෙයි, බැඳුණේ මෙලොවින් පරලොව යේ යි කියනු ලැබේ.
මහණෙනි බුද්ධාදී ආර්‍ය්‍යයන් දක්නා ... සත්පුරුෂධර්‍මයෙහි මොනොවට හික්මුණු ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්ම විසින් නො දකියි. රූපවත් හෝ ආත්මය නො දකියි, ආත්මයෙහි හෝ රූපය නො දකියි, රූපයෙහි හෝ ආත්මය නො දකියි. මහණෙනි, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපබන්‍ධනයෙන් නො බැඳුණේ ඕරම්භාගිය සංයෝජන සහිත උද්ධම්භාගිය සංයෝජනයෙන් නො බැඳුණේ සසරතෙර දක්නේ නිර්‍වාණ පාරය දක්නේ යි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදුණේ යයි කියමි.
වේදනාව ආත්ම වශයෙන් නො දකියි ... වේදනායෙහි හෝ ආත්මය නො දකියි, මේ ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවක වේදනා බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි. අභ්‍යන්තර සහිත බාහිර බන්‍ධනයෙන් නො බැඳුණේ යයි කියනු ලැබෙයි, සසර තෙර දක්නේ යයි කියනු ලැබෙයි. නිර්‍වාණපාරය දක්නේ යයි කියනු ලැබේ. හේ (සියලු) දුකින් මිදිණැ යි කියමි.