1. 3. 2. 3.
පඨම ධම්ම කථික සූත්‍රය
115. සැවැත්නුවර:
එකත්පසෙකැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ: වහන්ස, “ධම්මකථික ය, ධම්මකථික” ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණෙකින් “ධම්මකථික” වේ දැ යි.
මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නො ඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ ඉදින්, රූපයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත වැ මිදුණේ වේ නම් (ඒ) මහණ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යි කියන්නට සුදුසු වෙයි.
මහණ, ඉදින් වේදනායෙහි ... මහණ, ඉදින් සඤ්ඤායෙහි ... මහණ, ඉදින් සංඛාරයන්හි ... මහණ, ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කීමට සුදුසු වෙයි. මහණ, ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” යයි කියන්නට සුදුසු වෙයි. මහණ ඉදින් විඤ්ඤාණයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදානරහිත ව මිදුණේ වේ නම්, (ඒ) මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ ය යි කියන්නට සුදුසු වේ යි.
1. 3. 2. 4.
දුතිය ධම්ම කථික සූත්‍රය
116. සැවැත්නුවර:
එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, ධම්මකථික ය, ධම්මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණෙකින් ධම්මකථික වේ ද? කොපමණෙකින් ධම්මානුධම්මපටිපන්න වේ ද? කොපමණෙකින් දිටුදැමියෙහි නිවනට පැමිණියේ වේ දැ යි.
මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වේ. මහණ, ඉදින් රූපයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම්, (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් රූපයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම් (ඒ) මහණ දිටුදැමියෙහි නිවනට පැමිණියේ ය යි කියන්නට සුදුසු වෙයි.
මහණ, ඉදින් වේදනායෙහි ... මහණ, ඉදින් සංඥායෙහි ... මහණ, ඉදින් සංස්කාරයන්හි ... මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස දහම් දෙසා නම්, (ඒ) මහණ “ධම්මකථික” ය යි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීම පිණිස නොඇල්ම පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ නම් (ඒ) මහණ “ධම්මානුධම්මපටිපන්න” යයි කියන්නට සුදුසු වෙයි. මහණ, ඉදින් විඥානයෙහි කලකිරීමෙන් නොඇල්මෙන් නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ වේ නම්, (ඒ) මහණ තෙමේ දිටුදැමියෙහි නිවනට පැමිණියේ යයි කියන්නට සුදුසු වේ.