1. 3. 2. 10.
සීල සූත්‍රය
122. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද බරණැස සමීපයෙහි ඉසිපතන නම් වූ මිගදායයෙහි වාස කෙරෙති. ඒ කල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි ශාරීපුත්‍රනි, සිල්වත් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩ වශයෙන් හුල් වශයෙන් පීඩා වශයෙන් ආබාධ වශයෙන් මෙරමා වශයෙන් වැනසීම් වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු ය. කවර පස් කඳෙකැ යත්: එනම් – රූපෝපාදාන ස්කන්‍ධ යැ ... විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, සිල්වත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් ... දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යි. ඇවැත්නි, සිල්වත් මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිත්‍ය විසින් දුක් විසින් ... අනාත්ම විසින් නුවණින් මෙනෙහි කරනුයේ සෝවන්පල පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, සෝවන් මහණහු විසින් කවර දහම්හු නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි?
ඇවැත්නි, කොට්ඨිතයෙනි. සෝවන් මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහු යැ. ඇවැත්නි, සෝවන් මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරනුයේ සෙදගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, සෙදගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, සෙදගැමි මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ... අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, සෙදගැමි මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ අනගැමි ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අනගැමි මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි. අනගැමි මහණහු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහු ය. ඇවැත්නි, අනගැමි මහණ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරනුයේ රහත් ඵලය පසක් කරන්නේ ය යන යම් කරුණෙක් වේ නම් තෙල කරුණ ඇත්තේ යැ.
ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, රහත්හු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කළ යුත්තාහු දැ යි?
ඇවැත්නි, කොට්ඨිතයෙනි. රහත්හු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසීම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කටයුත්තාහ. ඇවැත්නි, රහත්හට මත්තෙහි කළ යුත්තෙක් නැත, කරන ලද්ද නැවත කිරීමෙක් හෝ නැති. වැළි දු මේ දහම් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිටුදැමියෙහි සුවවිහරණ පිණිස ද, සිහිනුවණ පිණිස ද පවත්නාහ යි.
1. 3. 2. 11.
සුතවන්ත සූත්‍රය
123. බරණැස්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කට යුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ.
කවර පසෙක් ද යත්: එනම්-රූපෝපාදානස්කන්‍ධය … විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්‍රැතවත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහ.
ඇවැත්නි යම් හෙයකින් ශ්‍රැතවත් මහණ තෙමේ මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරන්නේ සෝවන්පල පසක් කරන්නේ යැ ... සෙදගැමිපල පසක් කරන්නේ යැ ... අනගැමිපල පසක් කරන්නේ යැ ... රහත්පල පසක් කරන්නේ යැ යන තෙල කරුණ ඇත්තේ යි.