1. 3. 2. 11.
සුතවන්ත සූත්රය
123. බරණැස්නුවර:
එකත්පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: ඇවැත්නි, ශාරිපුත්රයෙනි, ශ්රැතවත් මහණහු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කට යුත්තාහු දැ යි.
ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්රැතවත් මහණහු විසින් පඤ්චෝපාදානස්කන්ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ.
කවර පසෙක් ද යත්: එනම්-රූපෝපාදානස්කන්ධය … විඥානෝපාදානස්කන්ධ යි. ඇවැත්නි, කොට්ඨිතයෙනි, ශ්රැතවත් මහණහු විසින් මේ පඤ්චෝපාදානස්කන්ධයෝ අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කළයුත්තාහ.
ඇවැත්නි යම් හෙයකින් ශ්රැතවත් මහණ තෙමේ මේ පඤ්චෝපාදානස්කන්ධයන් අනිස විසින් දුක් විසින් ... අනත් විසින් නුවණින් මෙනෙහි කරන්නේ සෝවන්පල පසක් කරන්නේ යැ ... සෙදගැමිපල පසක් කරන්නේ යැ ... අනගැමිපල පසක් කරන්නේ යැ ... රහත්පල පසක් කරන්නේ යැ යන තෙල කරුණ ඇත්තේ යි.
ඇවැත්නි, ශාරිපුත්රයෙනි, රහත්හු විසින් කවර දහම් කෙනෙක් නුවණින් මෙනෙහි කටයුත්තාහු දැ යි. ඇවත්, කොට්ඨිතයෙනි, රහත්හු විසිනුදු මේ පඤ්චෝපාදානස්කන්ධයෝ අනිස විසින් දුක් විසින් රෝග විසින් ගඩ විසින් හුල් විසින් විපත් විසින් පෙළීම් විසින් මෙරමා විසින් වැනසුම් විසින් සිස් විසින් අනත් විසින් නුවණින් මෙනෙහි කළ යුත්තාහ. ඇවැත්නි, රහත්හට මත්තෙහි කළ යුත්තෙක් නැත, කරන ලද්ද නැවත කිරීමෙක් හෝ නැති. වැළි දු මේ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු දිටුදැමියෙහි සුවවිහරණ පිණිසත්, සිහිනුවණ පිණිසත් පවත්නාහ යි.
1. 3. 2. 12.
පඨම කප්ප සූත්රය
124. සැවැත්නුවර:
එ කල්හි ආයුෂ්මත් කප්ප තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ යැ. එළැඹැ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ යැ. එකත්පසෙක හුන් ආයුෂ්මත් කප්ප තෙමේ භාග්යවතුන් වහන්සේට තෙල සැල කළේ යැ:
වහන්ස, කෙසේ දන්නහුට කෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අභිඞ්කාර මමිඞ්කාර (අහඞ්කාර දෘෂ්ටිය, මාගේ යයි ගන්නා තණ්හාව හා) මනානුසයය යන කෙලෙස්හු නො වෙද්දැ යි?
කප්පය, අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සූක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙකුත් වේ ද (ඒ) සියලු රූපය “තෙල මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ යයි” තෙල මෙසේ තතු සේ මනා නුවණින් දකියි. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීත වූ හෝ අනාගත වූ හෝ පච්චුප්පන්න වූ හෝ ආධ්යාත්මික වූ හෝ බාහිර වූ හෝ ඖදාරික වූ හෝ සුක්ෂ්ම වූ හෝ හීන වූ හෝ ප්රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුර වූ හෝ ළඟ වූ හෝ යම් විඥානයකුත් වේ ද ඒ සියලු විඥානය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වේ ය” යි තෙල තතු සේ මනානුවණින් දකී.
කප්පය, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අහිඞ්කාර මමිඞ්කාර මානානුසයයෝ නො වෙති යි.
1. 3. 2. 13.
දුතිය කප්ප සූත්රය
125. සැවැත්නුවර:
එකත්පස් වැ හුන් ආයුෂ්මත් කප්ප තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළහ: වහන්ස, කෙසේ දන්නහුගේ කෙසේ දක්නහුගේ සිත මේ සවිඤ්ඤාණක කයෙහිත් බැහැර සියලු නිමිත්තයන්හිත් අහිඞ්කාර මමිඞ්කාර මානයෙන් පහ වූයේ මාන කොටසුන් ඉක්ම වූයේ සන්හුන් වූයේ මැනවින් මිදුණේ වේ දැ යි?