1. 3. 1. 9.
පඨම ඡන්‍දරාග සූත්‍රය
111. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන්මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් වෙන් කරන ලද්දේ නැවත නොහටගන්නක් කරණ ලද්දේ මතු නූපදනා සැහැවි ඇත්තේ වන්නේ යැ.
වේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණායෙක් ඇත් ද එය දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා වෙයි. උසුන් මුල් ඇති වෙයි, හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද වෙයි, යළි නොහටගන්නක් කරන ලද වෙයි. මතු නූපදනා ස්වභාව ඇති වෙයි.
සංඥායෙහි ... සංස්කාරයන්හි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තෘෂ්ණාවක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ සංස්කාරයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දාහු නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දාහු මතු නූපදනා ස්වභාව ඇති වන්නාහු ය.
විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවෙක් ඇත් ද, එය දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල් ගසක් මෙන් වෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යි.
1. 3. 1. 10.
දුතිය ඡන්‍දරාග සූත්‍රය
112. සැවැත්නුවර:
මහණෙනි, රූපයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවෙක් වේ ද, යම් උපය උපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසයයෝ වෙද්ද ඔවුන් දුරු කරවු. මෙසේ ඒ රූපය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යැ.
වේදනායෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියෙක් යම් තණ්හාවක් අත් ද, යම් උපයඋපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන-අභිනිවේස-අනුසයයයෝ ඇත් ද, ඔවුන් දුරු කරවු. මෙසේ ඒ වේදනාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී හිස් සුන් තල් ගසක් මෙන් කරන ලද්දී නැවත නො හටගන්නා බවට පමුණුවන ලද්දී මතු නූපදනා ස්වභාව ඇත්තී වන්නී ය.
සංඥායෙහි ... සංස්කාරයන්හි ... විඥානයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් ඇත් ද, යම් උපය උපාදානයෝ චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසයයෝ ඇත්ද ඔවුන් දුරු කරවු. මෙසේ ඒ විඥානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ නැවත නොහටගන්නා බවට පමුණු වන ලද්දේ තු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ යයි.
පළමු වැනි අන්ත වර්‍ග යි.
එහි උද්දානය:
අන්ත, දුක්ඛ, සක්කාය, පරිඤ්ඤෙය්‍ය යන සූත්‍ර සතර යැ, සමණසූත්‍ර දෙක යැ, සෝතාපන්න අරහන්ත සූත්‍ර දෙක යැ, ඡන්‍දරාග සූත්‍රදෙක දැ යි සූත්‍ර දශයෙකි.