1. අන්ත වර්‍ගය
1. 3. 1. 1.
අන්ත සූත්‍රය
103. සැවැත්නුවර:
මහණෙනි, මේ අන්ත සතරෙකි. කවර සතරෙකැ යත්:
සක්කාය අන්ත යැ, සක්කායසමුදය අන්ත යැ, සක්කායනිරෝධ අන්ත යැ, සක්කාය නිරොධගාමිනීපටිපදා අන්ත යයි.
මහණෙනි, සක්කාය අන්තය කවරැ යත්:
පඤ්චෝපාදානස්කන්‍ධ යයි කියැයුතු වෙයි.
කවර පසෙකැ යත්:
එනම්: රූපෝපාදානස්කන්‍ධ යැ, වේදනෝපාදානස්කන්‍ධ යැ, සංඥෝපාදානස්කන්‍ධ යැ, සංස්කාරෝපාදානස්කන්‍ධ යැ, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ සක්කායඅන්ත යයි කියනු ලැබෙයි.
මහණෙනි, සක්කායසමුදය අන්තය කවරැ යත්:
පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණාව ය, භවතෘෂ්ණාව ය, විභවතෘෂ්ණාව යි. මහණෙනි, මේ සක්කායසමුදය අන්ත යයි කියනු ලැබෙයි.
මහණෙනි, සක්කායනිරෝධ අන්තය කවරැ යත්:
ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද, මහණෙනි, මේ සක්කායනිරෝධ අන්ත යයි කියනු ලැබෙයි.
මහණෙනි, සක්කායනිරෝධගාමිනීපටිපදා අන්තය කවරැ යත්:
මේ ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. ඒ නම්: සම්මාදිට්ඨි යැ, සම්මාසංකප්ප යැ, සම්මාවාචා යැ, සම්මාකම්මන්ත යැ, සම්මාආජීව යැ, සම්මාවායාම යැ, සම්මාසති යැ, සම්මාසමාධි යි. මහණෙනි, මේ සක්කායනිරොධගාමිනිපටිපදා අන්ත යයි කියනු ලැබේ. මහණෙනි, මේ අන්ත සතර යි.
1. 3. 1. 2.
දුක්ඛ සූත්‍රය
104. සැවැත්නුවර:
මහණෙනි, තොපට දුක්ඛයත්, දුක්ඛසමුදයත්, දුක්ඛනිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනී පටිපදාවත් දේශනා කරන්නෙම්, එය අසවු.
මහණෙනි, දුක්ඛය කවරේ යැ යත්:
පඤ්චෝපාදානස්කන්‍ධ යි කියැයුතු වෙයි.
කවර පසෙකැ යත්:
රූපෝපාදානස්කන්‍ධ ය, ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ දුක්ඛය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදය කවරැ යත්:
පුනර්‍භවය කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදය යි කියනු ලැබෙයි.
මහණෙනි, දුක්ඛනිරෝධය කවරේ යැ යත්:
ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාගනිරෝධයෙක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද මහණෙනි, මේ දුක්ඛනිරෝධ යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:
මේ අරිඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාව යයි කියනු ලැබේ යි.
1. 3. 1. 3.
සක්කාය සූත්‍රය
105. සැවැත්නුවර:
මහණෙනි, තොපට සක්කායයත්, සක්කායසමුදයයත්, සක්කායනිරෝධයත්, සක්කාය නිරොධගාමිනීපටිපදාවත් දේශනා කරන්නෙමි, එය අසවු.
මහණෙනි, සක්කාය කවරැ යත්:
පඤ්චෝපාදානස්කන්‍ධ යයි කියැයුතු වෙයි.
කවර පසෙකැ යත්:
රූපෝපාදානස්කන්‍ධ ය, ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ සක්කාය යයි කියනු ලැබේ යි.