1. 3. 1. 4.
පරිඤ්ඤෙය්ය සූත්රය
106. සැවැත්නුවර:
මහණෙනි පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනීම ද, පිරිසිඳ දැන සිටි පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, පිරිසිඳ දතයුතු දහම්හු කවරහ යත්:
මහණෙනි, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. මහණෙනි, මොහු පිරිසිඳ දතයුතු දහම්හු යි කියනු ලැබෙති.
මහණෙනි, පිරිසිඳ දැනීම කවර යැ යත්:
මහණෙනි, යම් රාගය ක්ෂය කිරීමෙක් වේ ද, ද්වේෂය ක්ෂය කිරීමෙක් වේ ද, මෝහය ක්ෂය කිරීමෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දැනීම යි කියනු ලැබේ යි.
මහණෙනි, පිරිසිඳ දැන සිටි පුඟුල් කවරේ යැ යත්:
රහත් තෙමේ යයි කියයුතු වෙයි. මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මතෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දත් පුඟුල් යයි කියනු ලැබේ යි.
1. 3. 1. 5.
සමණ සූත්රය
107. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්ධයෝ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්ධ යැ ... විඥානෝපාදානස්කන්ධ යි.
මහණෙනි, යම්කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ නො දනිද්ද , මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණ ය යි ද සම්මත නො වෙති. බමුණන් කෙරෙහි බමුණු ය යි ද සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණකම්හි ඵලය හෝ බමුණුකම්හි ඵලය හෝ මේ අත්බැව්හි ම තුමූ ම මැනවින් දැන පසක් කොට එයට එළැඹැ නො ද වෙසෙති.
මහණෙනි, යම්කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතු සේ දනිද්ද , මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මහණුන් කෙරෙහි මහණ යයි ද සම්මතයහ. බමුණන් කෙරෙහි බමුණු ය යි ද සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද මහණකමේ ඵලයත් බමුණුකමේ ඵලයත් මේ අත්බැව්හි ම තුමූ ම වෙසෙසින් දැන පසක් කොට එයට එළැඹැ වෙසෙති යි.
1. 3. 1. 6.
දුතිය සමණ සූත්රය
108. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්ධයෝ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්ධ යැ ... විඥානෝපාදානස්කන්ධ යි.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පඤ්චෝපාදාන ස්කන්ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනිද්ද ... දනිද්ද ... තුමූ මැ වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ වෙසෙත් යි.
1. 3. 1. 7.
සෝතාපන්න සූත්රය
109. සැවැත්නුවර:
මහණෙනි, මේ උපාදානස්කන්ධ පසෙකි. කවර පසෙකැ යත්: එනම් ... රූපෝපාදානස්කන්ධ ය ... විඥානෝපාදානස්කන්ධ යි.
මහණෙනි, යම් කලෙක පටන් ආර්ය්යශ්රාවක තෙමේ මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ තෙමේ සිවුඅපායෙහි නොවැටෙන ස්වභාව ඇති (ධම්මනියාම වශයෙන්) නියත වූ ( මතු තෙමඟ නමැති) සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූ අරිසවු යයි කියනු ලැබේ යි.