1. 3. 1. 2.
දුක්ඛ සූත්රය
104. සැවැත්නුවර:
මහණෙනි, තොපට දුක්ඛයත්, දුක්ඛසමුදයත්, දුක්ඛනිරෝධයත්, දුක්ඛනිරෝධගාමිනී පටිපදාවත් දේශනා කරන්නෙම්, එය අසවු.
මහණෙනි, දුක්ඛය කවරේ යැ යත්:
පඤ්චෝපාදානස්කන්ධ යි කියැයුතු වෙයි.
කවර පසෙකැ යත්:
රූපෝපාදානස්කන්ධ ය, ... විඥානෝපාදානස්කන්ධ යි. මහණෙනි, මේ දුක්ඛය යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛසමුදය කවරැ යත්:
පුනර්භවය කරන නන්දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදය යි කියනු ලැබෙයි.
මහණෙනි, දුක්ඛනිරෝධය කවරේ යැ යත්:
ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාගනිරෝධයෙක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො අල්මෙක් වේ ද මහණෙනි, මේ දුක්ඛනිරෝධ යි කියනු ලැබේ.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:
මේ අරිඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාව යයි කියනු ලැබේ යි.
1. 3. 1. 3.
සක්කාය සූත්රය
105. සැවැත්නුවර:
මහණෙනි, තොපට සක්කායයත්, සක්කායසමුදයයත්, සක්කායනිරෝධයත්, සක්කාය නිරොධගාමිනීපටිපදාවත් දේශනා කරන්නෙමි, එය අසවු.
මහණෙනි, සක්කාය කවරැ යත්:
පඤ්චෝපාදානස්කන්ධ යයි කියැයුතු වෙයි.
කවර පසෙකැ යත්:
රූපෝපාදානස්කන්ධ ය, ... විඥානෝපාදානස්කන්ධ යි. මහණෙනි, මේ සක්කාය යයි කියනු ලැබේ යි.
මහණෙනි, සක්කායසමුදය කවරැ යත්:
පුනර්භවය කරන නන්දිරාගය සහගිය ඒ ඒ තන්හි ඇල්ම ඇති කරණ යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ සක්කායසමුදය යයි කියනු ලැබෙ යි.
මහණෙනි, සක්කායනිරෝධය කවරේ යැ යත්:
ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයක් දුරලීමෙක් බැහැරලීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ සක්කායනිරෝධ යි කියනු ලැබේ.
මහණෙනි, සක්කායනිරෝධගාමිනීපටිපදාව කවරැ යත්:
මේ අරීඅටඟිමග මැ යි. එ නම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සක්කායනිරෝධගාමිනී පටිපදා යි කියනු ලැබෙ යි.
1. 3. 1. 4.
පරිඤ්ඤෙය්ය සූත්රය
106. සැවැත්නුවර:
මහණෙනි පිරිසිඳ දතයුතු දහම් ද, පිරිසිඳ දැනීම ද, පිරිසිඳ දැන සිටි පුඟුලා ද දේශනා කරන්නෙමි. එය අසවු.
මහණෙනි, පිරිසිඳ දතයුතු දහම්හු කවරහ යත්:
මහණෙනි, රූපය පිරිසිඳ දතයුතු දහමෙකි. වේදනාව පිරිසිඳ දතයුතු දහමෙකි. සංඥාව ... සංස්කාර ... විඥානය පිරිසිඳ දතයුතු දහමෙකි. මහණෙනි, මොහු පිරිසිඳ දතයුතු දහම්හු යි කියනු ලැබෙති.
මහණෙනි, පිරිසිඳ දැනීම කවර යැ යත්:
මහණෙනි, යම් රාගය ක්ෂය කිරීමෙක් වේ ද, ද්වේෂය ක්ෂය කිරීමෙක් වේ ද, මෝහය ක්ෂය කිරීමෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දැනීම යි කියනු ලැබේ යි.
මහණෙනි, පිරිසිඳ දැන සිටි පුඟුල් කවරේ යැ යත්:
රහත් තෙමේ යයි කියයුතු වෙයි. මෙබඳු නම් ඇති මෙබඳු ගොත් ඇති යම් මේ ආයුෂ්මතෙක් වේ ද, මහණෙනි, මේ පිරිසිඳ දත් පුඟුල් යයි කියනු ලැබේ යි.