1. 2. 3. 5.
දෙවැනි අරහන්ත සූත්රය
77. සැවැත්නුවර:
මහණෙනි, රූපය අනිත්යයි. යමෙක් අනිත්ය ද, එය දුක යි. යමෙක් දුක් ද, එය අනාත්මයි. යමක් අනාත්ම ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේ”යයි මෙසේ තෙල තතුසේ සම්යක් ප්රඥායෙන් දතයුතු ය. වේදනාව අනිත්ය ය … සංඥාව අනිත්ය ය … සංස්කාර අනිත්ය ය … විඥානය අනිත්ය යි. යමෙක් අනිත්ය ද, එය දුක යි. යමෙක් දුක් ද, එය අනාත්මයි. යමෙක් අනාත්ම ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙ” යයි මෙසේ තෙල තතු සේ සම්යක් ප්රඥායෙන් දැක්කයුතු.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයෙහි දු කලකිරෙයි, වේදනාහි දු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි, සංස්කාරයෙහි දු කලකිරෙයි, විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලෙනුයේ මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යන ඥානය වෙයි. ජාතිය ක්ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස අන් කිසෙක් නැති යි දනියි.
මහණෙනි, සත්ත්වාවාස යම්තාක් ද, භවාග්රය යම්තාක් ද, ඒතාක් ලෝකයෙහි මොහු අග්රයහ. මොහු ශ්රේෂ්ඨයහ. ඔහු කවරහ: රහත්හු යි වදාළ සේක.
1. 2. 3. 6.
සීහෝපම සූත්රය
78. සැවැත්නුවර:
මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් වේලෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසයෙන් නික්මැ වැජඹෙයි. වැජැඹැ හාත්පස සතරදික් පරීක්ෂා කොට බලයි. හාත්පස සතරදික් බලා තෙවටක් සිහනද කෙරෙයි. තෙවටක් සිහනද කොට ගොදුරු පිණිස යයි.
මහණෙනි, යම්කිසි තිරිසන්ගිය ප්රාණී කෙනෙක් නාද කරන සිංහමෘගරාජයාගේ ශබ්දය අසද්ද, ඔහු බෙහෙවින් භයට සන්ත්රාසයට සංවේගයට පැමිණෙත්. බිලයෙහි වෙසෙන සත්හු බිලයට වදිති. දියෙහි වෙසෙන සත්හු දියට වදිති. වනය වාස කොට ඇති සත්හු වනයට වදිති. පක්ෂීහු අහස භජනය කෙරෙත්. මහණෙනි, ගම් නියම්ගම් රජදහන්හි දෘඪවරපටින් බැඳුනු රජුට අයත් යම් මැ හස්තීහු ඇද්ද ඔහු දු ඒ බන්ධනයන් සිඳැ ගෙන බිඳැ ගෙන බියපත් වූවාහු මලමූ හෙළමින් යම් ඒ තැනෙක පලා යෙත්. මහණෙනි, මෘගරාජන් වූ සිංහ තිරිසන් ගිය සතුන් අතරින් මෙබඳු මහත් ඍද්ධි ඇතියෙකැ, මෙබඳු මහේශාක්යයෙකැ, මෙබඳු මහත් අනුභාව ඇතියෙකි.
මහණෙනි, එ පරිදි මැ යම් කලෙක අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ විද්යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිද් වූ අනුත්තර පුරුෂදම්යයසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගතයන් වහන්සේ ලොව උපදනාසේක් ද, ඔහු දහම් දෙසත්: “රූපය මෙතෙකැ, රූපසමුදය මෙතෙකැ, රූපයාගේ අත්ථඞ්ගමය මෙතෙකි. වේදනාව මෙතෙකැ ... සංඥාව මෙතෙකැ … සංස්කාර මෙතෙකැ ... විඥාන මෙතෙකැ විඥාන සමුදය මෙතෙකැ, විඥාන අත්ථඞ්ගමය මෙතෙකි. (මෙසේ දෙසත්).
මහණෙනි, දීර්ඝායුෂ්ක වූ වර්ණවත් වූ සුඛබහුල වූ උස්විමන්හි චිරස්ථායී වැ සිටුනා යම් දෙවිකෙනෙක් ඇද්ද, උහුදු තථාගතයන්ගේ දම්දෙසුම් අසා බෙහෙවින් බියව සන්ත්රාසයට සංවේගයට පැමිණෙති: “භවත්නි, අපි අනිත්ය වූවමෝ නිත්යම්හ යි සිතුම්හ. අපි අධ්රැව වූවමෝ ධ්රැවයම්හ යි සිතුම්හ. භවත්නි, අපි අශාශ්වත වූවමෝ ශාශ්වතයම්හ යි සිතුම්හ. භවත්නි, අපි වනාහි අනිත්යයම්හ, අධ්රැවයම්හ, අශාස්වතයම්හ, සත්කාය පරියාපන්නයම්හ” යි (සංවේගදනවත්).
මහණෙනි, තථාගතයෝ සදේවක ලෝකයාට මෙසේ මහත් ඍද්ධි ඇතියහ, මෙසේ මහේශාක්යයහ, මෙසේ මහානුභාවයහ යි භගවත්හු තෙල වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා වැලිත් ශාස්තෲන් වහන්සේ තදන්ය වූ තෙල ගාපෙළ ද වදාළහ:
1. දෙවියන් සහිත ලෝකයාට ශාස්තෘ වූ අප්රතිපුද්ගල වූ සර්වඥයන් වහන්සේ යම් කලෙක විශිෂ්ටඥානයෙන් දැන ධර්මචක්රය පවත්වාලු සේක් ද,
2. සක්කාය (පඤ්චස්කන්ධය) හා නිරෝධය හා සත්කාය සම්භවය හා දුක් සන්හිඳුවන අරිඅටගිමග හා (දෙසත් ද),
3. වර්ණවත් යශස්වී වූ දීර්ඝායුෂ්ක වූ යම් දෙවිකෙනෙක් ඇද්ද, (ඔහු හැම) සිංහයාගේ නාද අසා ඉතර මෘගයන් බියපත්වන්නාක් සෙයින් භීත වැ (මෙසේ) සන්ත්රාසයට පැමිණියහ.
4. භවත්නි, අපි සක්කායය පැන නො ගියම්හ, අනිත්යයම්හ යි විප්රමුක්ත වූ තාදී ගුණ ඇති අර්හත් වූ බුදුන්ගේ වාක්යය අසා දතුම්හ යි.
1. 2. 3. 7.
ඛජ්ජනීය සූත්රය
79. සැවැත්නුවර:
මහණෙනි, අනේකප්රකාර පූර්වනිවාසය නුවණින් මෙනෙහි කරන යම් මැ ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ අනුස්මරණය කෙරෙත් ද, එ හැම පඤ්චෝපාදාන ස්කන්ධයන් අනුස්මරණ කෙරෙති, තුලුන් අතුරෙන් අන්යතරයක් හෝ අනුස්මරණ කෙරෙත්.
මහණෙනි, “අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි” යි හෝ සිහි කරන්නේ රූපස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි” යි හෝ සිහිකරන්නේ වේදනාස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ සංඥාස්කන්ධය මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ සංස්කාරයන් මැ සිහි කෙරෙයි. මහණෙනි, “අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි” හෝ සිහිකරන්නේ විඥානස්කන්ධය මැ සිහි කෙරෙයි.
මහණෙනි, කවර කරුණින් රූපය කියන්නේ ය යත්: මහණෙනි, “බිඳේ” නුයි එයින් රුපයයි කියනු ලැබෙයි, කුමකින් බිඳේ ය යත්: ශීතයෙනුදු බිඳෙයි, උෂ්ණයෙනුදු බිඳෙයි, බඩසයියිනුදු බිඳෙයි, පවසිනුදු බිඳෙයි, ඩැහැ ලේ බොන මැසි ය - විද ලේ බොන මදුරු ය - වාත ය - ආතප ය - දීර්ඝජාති ය යන මොවුන්ගේ සංස්පර්ශ යෙනුදු බිඳේ. මහණෙනි, “බිඳෙනු” යි එයින් රූප යි කියනු ලැබේ.