1. 2. 3. 2.
පළවැනි සමුදය සූත්රය
74. සැවැත්නුවර:
මහණෙනි, අශ්රැතවත් පෘථග්ජන රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයාගේ සමුදයත්, අස්තඞ්ගමයත්, ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණත් ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදයත්, අස්තඞ්ගමයත් ආස්වාදයත්, ආදීනවත්, නිශ්ශරණයත් ඇතිසැටි දනී යි.
1. 2. 3. 3.
දෙවැනි සමුදය සූත්රය
75. සැවැත්නුවර:
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද, ඇති සැටි දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ සමුදය ද, අස්තඞ්ගමය ද, ආස්වාදය ද, ආදීනව ද, නිශ්ශරණය ද ඇති සැටි දනී යි.
1. 2. 3. 4.
පළමුවැනි අරහන්ත සූත්රය
76. සැවැත්නුවර:
මහණෙනි, රූපය අනිත්ය යි, යමක් අනිත්ය ද, එය දුක යි. යමක් දුක් ද, එය අනාත්ම යි. යමක් අනාත්ම ද එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නොවේ” යයි මෙසේ තෙල ඇති සැටි සම්යක්ප්රඥායෙන් දැක්කයුතු යැ. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය අනිත්ය යි. යමක් අනිත්ය ද, එය දුක යි. යමක් දුක් ද, එය අනාත්ම යි. යමක් අනාත්ම ද, එය “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වේ.” යයි මෙසේ තෙල ඇති සැටි සම්යක්ප්රඥායෙන් දැක්කයුතු.
මහණෙනි, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක රූපයෙහි දු කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහි දු කලකිරෙයි. සංස්කාරයෙහි දු කල කිරෙයි. විඥානයෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි විමුක්තය යන ඥානය වෙයි. ‘ජාතිය ක්ෂය විය, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ අර්හත්ත්වය පිණිස අන් කිසෙක් නැත’යි දනියි.
මහණෙනි, සත්වාවාස යම්තාක් ද, භවාග්රය යම්තාක් ද, ඒතාක් ලෝකයෙහි මොහු අග්රයහ. මොහු ශ්රේෂ්ඨයහ. ඔහු කවරහ: රහත්හු යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යළි මතුදු තෙල වදාළ සේක:
1. රහත්හු ඒකාන්තයෙන් (ධ්යාන -මාර්ග -ඵල සුඛයෙන්) සුඛිතයහ, ඔවුනට තෘෂ්ණායෙක් නැත. නවවිධ අස්මිමානය රහත් මඟ නුවණින් සිඳින ලදී. මෝහ නැමැති දැල පළන ලදී.
2. ඔහු, අර්හත්ත්වයට පැමිණියහ, ඔවුන්ගේ සිත කැළඹීම් රහිත ය, ඔහු ලෝකයෙහි තෘෂ්ණා දෘෂ්ටි විසින් නො ඇලුණහ, ශ්රේෂ්ඨහ, ආශ්රව රහිතයහ.
3. පස්කඳ ත්රිවිධ පරිඥායෙන් පිරිසිඳ දැන සිටි ඔහු (සද්ධා - හිරි ආදී) සප්ත සද්ධර්ම ගෝචර කොට ඇතියහ. (නුවණැත්තන් විසින්) පැසසිය යුත්තාහ, සත්පුරුෂහ, බුදු රජාණන් වහන්සේගේ ඖරස පුත්රයහ.
4. සප්ත බෝධ්යංගරත්නයෙන් යුක්තයහ, ත්රිවිධ ශික්ෂායෙහි ශික්ෂිතයහ, මහාවීර වූ ඔහු ප්රහීණ භය භේරව ඇත්තාහු (නිසැක වැ) හැසිරෙති.
5. (අසේඛසීලක්ඛන්ධාදී) දශ අංගයෙකින් යුක්තයහ, මහා නාගයහ, (උපචාර - අර්පණා ධ්යානයෙන්) සමාහිතයහ, මොහු වනාහි ශ්රේෂ්ඨ වෙති, ඔවුනට තෘෂ්ණා නැති.
6. රහත්ඵල නුවණ උපන, මේ අන්තිම ආත්මභවය යි. බ්රහ්මචර්ය්යයාගේ යම් සාරයෙක් ඇත් ද, සාර සංඛ්යාත ඒ අරහත් ඵලයෙහි පරප්රත්යය රහිතයහ. (අන්ය උපකාර විරහිත වැ ප්රත්යක්ෂ විසින් මැ පිළිවිද සිටියහ.)
7. ත්රිවිධ මාන කොටස්හි නො සැලෙති. පුනර්භවයෙන් මිදුණාහ, අර්හත්ත්වයට අනුප්රාප්තයහ. ඔහු ලෝකයෙහි (රාගාදිය) දිනා සිටියාහු යි.
8. උඩ - සරස - යට (පස්කඳෙහි හෝ කාලත්රයෙහි හෝ භවත්රයෙහි හෝ) ඔවුනට තෘෂ්ණායෙක් නැති. අනුත්තර වූ චතුස්සත්ය බුද්ධ වූ ඒ රහත්හු ලෝකයෙහි අභීතනාද කරන්නාහ යි.