1. 1. 4. 5.
පළවැනි ආනන්‍ද සූත්‍රය
37. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ ය. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ඉදින් ආනන්‍ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්, “ඇවැත්නි ආනන්‍දයෙනි, කවර ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය (ජරාව) පැනේ දැ” යි. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැ යි ප්‍රකාශ කරන්නාහු ද?
වහන්ස, ඉදින් මා මෙසේ පුළුවුස්නාහු නම් “ආනන්‍ද කවර ධර්‍ම කෙනකුන්ගේ ඉපැත්ම පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස (ජරාව) පැනේ දැ” යි. වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙ පරිදි ප්‍රකාශ කරන්නෙමි: ඇවැත්නි, රූපයාගේ උත්පාදය පැනෙ යි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි, වේදනාවගේ උත්පාදය … සංඥාවගේ … සංස්කාරයන්ගේ … විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ඇවැත්නි, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. වහන්ස, මෙසේ පුළුවුස්නා ලද මම මෙලෙසින් ප්‍රකාශ කරන්නෙමි යි.
මැනවි මැනවි, ආනන්‍ද. ආනන්‍ද, රූපයාගේ ඉපැත්ම පැනෙයි, විනාශය පැනෙයි, සිටියහුගේ වෙනස්වීම් සඞ්ඛ්‍යාත ජරාව පැනෙයි. වේදනාවේ … සංඥාවේ … සංස්කාරයන්ගේ … විඥානයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ආනන්‍ද, මේ ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි මෙලෙසින් ප්‍රකාශ කරන්නාහුයි.
1. 1. 4. 6.
දෙවැනි ආනන්‍ද සූත්‍රය
38. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළඹියහ. … එකත්පසෙකැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ඉදින් ආනන්‍ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පාදය පැනුණේ ද, ව්‍යය පැනුණේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ ද, කවර ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පැනෙන්නේ ද, ව්‍යය පැනෙන්නේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙන්නේ ද, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වයපැනේ දැ” යි. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැයි ප්‍රකාශ කරන්නාහු දැ යි?
වහන්ස, ඉදින් මා මෙසේ විචාරන්නාහු නම්: “ඇවැත්නි, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පත්තිය පැනුණේ ද, විනාශය පැණුනේ ද, සිටියහුගේ වෙනස පැනුණේ ද, කවර ධර්‍මකෙනකුන්ගේ උත්පත්තිය පැනෙන්නේ ද, විනාශය පැනෙන්නේ ද සිටියහුගේ වෙනස පැනෙන්නේ ද, කවර ධර්‍ම කෙනකුන්ගේ උත්පත්තිය පැනේ ද, විනාශය පැනේ ද, සිටියහුගේ වෙනස පැනේ දැ” යි. වහන්ස, මෙසේ විචාරන ලද මම මෙලෙසින් ප්‍රකාශ කරන්නෙම්: “ඇවැත්නි, අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් රූපයෙක් ඇත් ද, ඒ රූපයාගේ උත්පාදය පැණුනේ යැ, ව්‍යය පැනුණේ යැ, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් වේදනාවක් ඇද්ද, ඒ වේදනාවගේ උත්පාදය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ, සිටි වේදනාවගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. යම් සංඥාවක් … අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ඒ සංස්කාරයන්ගේ උත්පාදය පැනුණේ යැ, ව්‍යය පැනුණේ යැ. සිටියවුන්ගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ. අතීත වූ නිරුද්ධ වූ විපරිණත වූ යම් විඥානයෙක් ඇද්ද, ඒ විඥානයාගේ උත්පාදය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ. ව්‍යය පැනුණේ යැ. සිටියහුගේ අන්‍යථාත්‍වය පැනුණේ යැ.