1. 1. 4. 4.
දෙවැනි භික්ඛු සූත්‍රය
36. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට එළඹියේ ය … එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන්වහන්සේට තෙල සැල කෙළේ ය.
“වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ වාස කෙරෙම් නම් මට එබඳු දහමක් දෙසනසේක්ව” යි.
මහණ, යමක් අරමුණු කොට (කාමරාගාදිය) උපදී ද, ඒ (අනුසයිත වූ) රූපාදිය (නැසෙන) අනුසය සමඟ නැසෙයි, යමක් (අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය) කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මුඪ යැයි) ගිණීමට යෙයි. යමක් (අනුසය සමඟ) නූපදී ද, එය, (නැසෙන අනුසය සමග) නො නැසෙයි. යමක් (අනුසය සමග) නො නැසේ ද, ඒ අනුසය කරණ කොට ගෙන (රක්තාදී) සංඛ්‍යාවට නොයේ යයි.
භාග්‍යවතුන් වහන්ස, (මා විසින්) දන්නා ලද, සුගතයන් වහන්ස, දන්නා ලදැයි.
මහණ, තෙපි මා විසින් සැකෙවින් (පැවසූ) භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් කිසෙයින් දැනගත්තවු යැයි.
වහන්ස, ඉදින් රූපය (අරමුණු කොට කාමරාගාදි අනුසය) පවතී ද ඒ (අනුසයිත රූපය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ අනුසය කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට යෙයි. ඉදින් වේදනාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංඥාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත සංස්කාරය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් සංස්කාරයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය කරණ කොටගෙන (රක්ත යැ ආදී) සංඛ්‍යාවට යෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත විඥානය නැසෙන අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (නැසෙන අනුසය සමඟ) නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (කේතයැ දුෂ්ට යැ මූඪ යැයි) ගිණීමට යේ.
වහන්ස ඉදින් රූපය (අරමුණු කොට අනුසය) නූපදී ද ඒ (නානුසයිත) රූපය නැසෙන අනුසය සමඟ නො නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නො නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට නො යෙයි. ඉදින් වේදනාව අරමුණු කොට (අනුසය) නූපදී ද ඒ (නො අනුසයිත වේදනාව නැසෙන අනුසය සමග) නො නැසෙයි. යම් වේදනාවක් නැසෙන අනුසය සමඟ නො නැසේ ද ඒ (අනුසය) කරණ කොට ගෙන (රක්තයැ යනාදී) සංඛ්‍යාවට නො යෙයි. ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) නූපදීද ඒ (නානුසයිත සංස්කාරය නැසෙන අනුසය සමඟ) නො නැසෙයි, යම් සංස්කාරයක් අනුසය සමඟ නො නැසේ ද ඒ කරණ කොට ගෙන, (රක්ත යැ යනාදීන්) ගිණීමට නොයෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) නූපදී ද, ඒ (විඥානය නැසෙන අනුසය සමග) නො නැසෙයි, යම් විඥානයක් (අනුසය සමඟ නො නැසේ ද, ඒ) අනුසය කරණ කොට ගෙන (රක්තයැ, දුෂ්ටය, මූඪ යැයි) ගිණීමට නොයේ. වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ භාෂිතයාගේ මෙසේ විස්තර විසින් අර්‍ත්‍ථය දැන ගතිමි යි.
මහණ මැනවැ මැනවැ, මහණ මනා මැ ය. තෙපි මා විසින් සැකෙවින් පවසන ලද භාෂිතයා ගේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නවුය. මහණ, ඉදින් රූපය (අරමුණු කොට අනුසය) උපදී ද ඒ (අනුසයිත රූපය අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (අනුසය සමග) නැසේ ද ඒ කරණ කොට ගෙන (රක්තයැ දුෂ්ට යැ මූඪයැ යි) ගිණීමට යෙයි. ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් … ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) පවතී ද ඒ (අනුසයිත විඥානය අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (අනුසය සමඟ) නැසේ ද ඒ අනුසය කරණ කොට ගෙන (රක්තයැ යනාදීන්) ගිණීමට යෙයි.
මහණ, ඉදින් රූපය (අරමුණු කොට අනුසය) නූපදී ද ඒ (විඥානය අනුසය සමග) නො නැසෙයි. යම් රූපයක් (අනුසය සමග) නො නැසේ ද ඒ (අනුසයිත රූපය) අනුසය සමග නො නැසෙයි. යම් රූපයක් (අනුසය සමඟ) නො නැසේ ද, ඒ කරණ කොට ගෙන, (රක්තයැ යනාදීන්) ගිණීමට නො යෙයි. ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාරයන් … ඉදින් විඥානය (අනුසය සමග) නූපදී ද ඒ (අනනුසයිත විඥානය අනුසය සමඟ) නො නැසෙයි, යම් විඥානයක් (අනුසය සමඟ) නො නැසේ ද ඒ විඥානය කරණ කොට ගෙන (රක්තයැ, දුෂ්ටයැ, මූඪ යැයි) සංඛ්‍යාවට නොයේ. මහණ, මා විසින් සැකෙවින් පවසන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තර විසින් අර්‍ත්‍ථය ගත යුත්තේ යි.
ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කොට අනුමෝදන්ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය. ඉක්බිති ඒ මහණ එකලා වූයේ කාය විවේක ඇතියේ නො පමාවූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වාසය කරනුයේ … තවද ඒ මහණ රහතුන් අතුරෙන් අන්‍යතරයෙක් වූයේ යි.
1. 1. 4. 5.
පළවැනි ආනන්‍ද සූත්‍රය
37. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්නේ ය. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ඉදින් ආනන්‍ද, තොප මෙසේ පුළුවුස්නාහු නම්, “ඇවැත්නි ආනන්‍දයෙනි, කවර ධර්‍ම කෙනෙකුන්ගේ උත්පාදය පැනේ ද, ව්‍යය පැනේ ද, සිටියහුගේ අන්‍යථාත්‍වය (ජරාව) පැනේ දැ” යි. ආනන්‍ද, මෙසේ පුළුවුස්නා ලද තෙපි කිමැ යි ප්‍රකාශ කරන්නාහු ද?