1. 1. 4. 3.
පළවැනි භික්ඛු සූත්‍රය
35. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේ යැ. එකත්පස් වැ හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේ ය:
වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්‍මයක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙය වූ සිත් ඇති වැ වාස කෙරෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් දේශනා කරන සේක්වයි.
මහණෙනි, යමක් අනුශය කෙරේද, ඒ අනුශය ධර්‍මය කරණ කොට (පුද්ගල රක්තයැ, දුෂ්ට යැ, මුඪ යයි) සංඛ්‍යාවට යෙයි. යමක් අනුශය නො කෙරේ ද, ඒ කරණ කොට සංඛ්‍යාවට නො යෙයි.
භාග්‍යවතුන් වහන්ස, දන්නාලද යැ, සුගතයන්වහන්ස, දන්නාලදැයි.
මහණ, මා විසින් සැකෙවින් කියනලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි විස්තර විසින් කිසෙයින් දන්නහු ද?
වහන්ස, ඉදින් රූපය අනුශය කෙරේ නම් ඒ අනුශය හේතු කොට ගෙන (පුඟුල් රක්තාදි) ප්‍රඥප්තියට යෙයි, ඉදින් වේදනාව අනුශය කෙරේනම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් සංඥාව අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් සංස්කාර අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි.
වහන්ස, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව අනුශය නො කෙරේ නම් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් සංඥාව අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් සංස්කාර අනුශය නො කෙරේ නම් එයින් ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් විඥානය අනුශය නො කෙරේ නම්, ප්‍රඥප්තියට නො යෙයි. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය මම් විස්තර විසින් මෙසෙයින් දනිමියි.
මැනවි මැනවි මහණ, මහණ, මා විසින් සැකෙවින් දේශිත ධර්‍මයාගේ අර්‍ත්‍ථය තෙපි විස්තර විසින් දන්නහු, ඒ මැනැවි. මහණ, ඉදින් රූපය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි, ඉදින් වේදනාව … ඉදින් සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය කෙරේ නම් එයින් ප්‍රඥප්තියට යෙයි.
මහණ, ඉදින් රූපය අනුශය නො කෙරේ නම් එයින් රක්තාදි ප්‍රඥප්තියට නො යෙයි, ඉදින් වේදනාව … සංඥාව … ඉදින් සංස්කාර … ඉදින් විඥානය අනුශය නො කෙරේ නම් එයින් රක්තාදි ප්‍රඥප්තියට නො යෙයි. මහණ, මා විසින් සැකෙවින් දේශිත මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුත්තේ ය.
ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියේ යැ. අනතුරු වැ ඒ මහණ, එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා යොමු කළ සිත් ඇති වැ වෙසෙනුයේ නොබෝ කලකින් මැ යමක් සඳහා කුලපුත්හු මැනැවින් මැ ගිහිගෙයින් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, මඟ බඹසර අවසන්හි වූ ඒ උත්තමාර්‍ත්‍ථය (රහත් බව) මේ අත්බව්හි තෙමේ මැ දැන පසක් කොට එයට එළැඹැ වාස කෙළේ ය. “ජාතිය ක්‍ෂය වූවාය, මඟ බඹසර වැස නිමවන ලද, සිවුමඟ කිස කරන ලද, මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැ” යි (පස් විකුමි නැණින්) දන්නා ලදී. ඒ මහණ රහතුන් වහන්සේ අතරැ අන්‍යතරයෙක් වී.
1. 1. 4. 4.
දෙවැනි භික්ඛු සූත්‍රය
36. සැවැත්නුවර–
ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන්වහන්සේ වැඩහුන් තැනට එළඹියේ ය … එකත් පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන්වහන්සේට තෙල සැල කෙළේ ය.
“වහන්ස මම භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් දහමක් අසා එකලා වැ ගණයා කෙරෙන් වැන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ වාස කෙරෙම් නම් මට එබඳු දහමක් දෙසනසේක්ව” යි.
මහණ, යමක් අරමුණු කොට (කාමරාගාදිය) උපදී ද, ඒ (අනුසයිත වූ) රූපාදිය (නැසෙන) අනුසය සමඟ නැසෙයි, යමක් (අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය) කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මුඪ යැයි) ගිණීමට යෙයි. යමක් (අනුසය සමඟ) නූපදී ද, එය, (නැසෙන අනුසය සමග) නො නැසෙයි. යමක් (අනුසය සමග) නො නැසේ ද, ඒ අනුසය කරණ කොට ගෙන (රක්තාදී) සංඛ්‍යාවට නොයේ යයි.
භාග්‍යවතුන් වහන්ස, (මා විසින්) දන්නා ලද, සුගතයන් වහන්ස, දන්නා ලදැයි.
මහණ, තෙපි මා විසින් සැකෙවින් (පැවසූ) භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් කිසෙයින් දැනගත්තවු යැයි.
වහන්ස, ඉදින් රූපය (අරමුණු කොට කාමරාගාදි අනුසය) පවතී ද ඒ (අනුසයිත රූපය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් රූපයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ අනුසය කරණ කොටගෙන (රක්ත යැ දුෂ්ට යැ මූඪ යැයි) සංඛ්‍යාවට යෙයි. ඉදින් වේදනාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංඥාව (අරමුණු කොට අනුසය) උපදී ද, … ඉදින් සංස්කාරයන් (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත සංස්කාරය නැසෙන අනුසය සමග) නැසෙයි. යම් සංස්කාරයක් (නැසෙන අනුසය සමග) නැසේ ද, ඒ (අනුසය කරණ කොටගෙන (රක්ත යැ ආදී) සංඛ්‍යාවට යෙයි. ඉදින් විඥානය (අරමුණු කොට අනුසය) උපදී ද, ඒ (අනුසයිත විඥානය නැසෙන අනුසය සමඟ) නැසෙයි. යම් විඥානයක් (නැසෙන අනුසය සමඟ) නැසේ ද, ඒ (අනුසය) කරණ කොට ගෙන (කේතයැ දුෂ්ට යැ මූඪ යැයි) ගිණීමට යේ.