1. 1. 4. 10.
සිව්වැනි අනුධම්ම සූත්‍රය
42. සැවැත්නුවර–
මහණෙනි, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න මහණහට මෙ අනුලෝම ධර්‍ම වෙයි:
යම් හෙයෙකින් රූපයෙහි අනාත්මානුදර්ශී වැ වෙසේ ද වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනාත්මානුදර්ශී වැ වෙසේ ද, හේ රූපයෙහි අනාත්මානුදර්ශී වැ වාස කරනුයේ වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අනාත්මානුදර්ශී වැ වාස කරනුයේ රූපය පිරිසිඳ දනියි. වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දනියි. හේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව … සංඥාව … සංස්කාර … විඥානය පිරිසිඳ දන්නේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් … සංඥායෙන් … සංස්කාරයන්ගෙන් … විඥානයෙන් මිදෙයි. ජාතියෙන් - ජරාවෙන් හා මරණයෙන් - ශෝකයෙන් - වැලපීමෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් (දැඩිවෙහෙසින්) මිදෙයි. පස්කඳ දුකින් මිදේ යයි කියමි යි.
සතරවැනි නතුම්හාක වර්‍ග යි.
එහි උද්දානය:
නතුම්හාක නමින් සූත්‍ර දෙකක් දේශිත යැ, භික්ඛු නමින් අන්‍ය සූත්‍ර දෙකක් ද, ආනන්‍ද නමින් සූත්‍ර දෙකක් ද දේශිත යැ, අනුධම්ම නමින් ද්වික දෙකක් (සතරක්) දේශිත යි. (මෙසේ නතුම්හාක වර්‍ගයෙහි සූත්‍ර දශයෙකි).
5. අත්තදීප වර්‍ගය
1. 1. 5. 1.
අත්තදීප සූත්‍රය
43. සැවැත්නුවර–
මහණෙනි, තමා පිහිට කොට තමා සරණ කොට වාස කරවු. මෙරමා පිහිට කොට වාස නො කරවු. (ලොවී ලොව්තුරා) දහම් පිහිට කොට දහම් සරණ කොට වාස කරවු. මෙරමා පිහිට කොට වාස නො කරවු.
මහණෙනි, තමා පිහිට කොට තමා සරණ කොට, මෙරමා පිහිට නො කොට ධර්‍මය පිහිට කොට, ධර්‍මය සරණ කොට මෙරමා සරණ නො කොට වසන තොප විසින් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් දැ” යි කාරණය ම විමසිය යුතු ය.
මහණෙනි, සෝකපරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ කුමක් ජාති කොට ඇත් ද, කුමක් ප්‍රභව කොට ඇත් ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නා ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය ධර්‍මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන රූපය ආත්ම විසින් දකියි, ආත්මය රූප ඇත්තක් කොට හෝ දකියි, ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකියි, රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ රූපය විපරිණාමයට යෙයි, අන් පරිදි හෝ වෙයි. රූපයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
වේදනාව ආත්ම වශයෙන් දකියි, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ දකියි, ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ දකියි, වේදනායෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව විපරිණාමයට යෙයි, අන් අයුරු වෙයි. ඔහුට වේදනාවගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති. සංඥාව … සංස්කාර ආත්ම වශයෙන් දකියි, සංස්කාරවත් ආත්මය හෝ දකියි. ආත්මයෙහි සංස්කාර ඇතැයි හෝ දකියි, සංස්කාරයන්හි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ සංස්කාර විපරිණාමයට යෙයි, අන්පරිදි වෙයි. සංස්කාරයන්ගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
විඥානය ආත්ම විසින් දකියි. විඥානවත් ආත්මය හෝ දකියි, ආත්මයෙහි විඥානය ඇතැයි හෝ දකියි, විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දකී. ඔහුගේ ඒ විඥානය විපරිණාමයට යෙයි. අන්පරිදි වෙයි. විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිත්.