1. 1. 2. 5.
යංදුක්ඛ සූත්‍රය
16. සැවැත්නුවර–
මහණෙනි, රූපය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇති සැටියෙන් සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … විඥානය දුක යි. යමක් දුක් නම් එය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල ඇතිසැටියෙන් සම්‍යක්ප්‍රඥායෙන් දැක්ක යුතු.
මහණෙනි, මෙසේ දක්නා… මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී, යයි.
1. 1. 2. 6.
යදනත්ත සූත්‍රය
17. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනාත්ම යි, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙල මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු, වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාර අනාත්ම යැ … විඥානය අනාත්ම යි. යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසේ තෙල යථාභූත කොට සම්‍යක් ප්‍රඥායෙන් දැක්කයුතු.
මහණෙනි, මෙසෙයින් දක්නා … මේ රහත් බව සඳහා අන්කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 7.
පඨම හේතු සූත්‍රය
18. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනිත්‍ය යැ, රූපයාගේ ඉපැත්මට යමක් හේතු වේ නම් ප්‍රත්‍යය වේ නම්, හෙ ද අනිත්‍ය යි. මහණෙනි, රූපය අනිත්‍ය සම්භූතයි. කොයින් නිත්‍ය වන්නේ ද, වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … විඥානය අනිත්‍ය යැ, විඥානයාගේ ඉපැත්මට යමක් හේතු වේ ද, යමක් ප්‍රත්‍ය වේ ද, හෙ ද අනිත්‍ය යැ. කොයින් නිත්‍ය වන්නේ ද.
මහණෙනි මෙසේ දක්නා … මේ රහත් බව සඳහා අන් කිසෙක් නැතැයි දනී යයි.
1. 1. 2. 8.
දෙවැනි හේතු සූත්‍රය
19. සැවැත්නුවර–
මහණෙනි, රූපය දුක් යැ, රූපයාගේ උප්පාදය පිණිස යම් හේතුයෙක් යම් ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද දුකැ. මහණෙනි, රූපය දුක්ඛසම්භූත යි. කොයින් සුඛයෙක් වේ ද. වේදනා දුක් යැ ... සංඥා දුක් යැ … සංස්කාරයෝ දුක්හ ... විඥානය දුක් යැ, විඥානයාගේ උත්පාදය සඳහා යම් හේතුවක් හා ප්‍රත්‍යයක් හා ඇත් ද, එ ද දුකැ. මහණෙනි, විඥානය දුඃඛ සම්භූත යි. කොයින් සුඛ වේ ද.
මහණෙනි, මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක … ඒ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැතී යි නුවණින් දනී.
1. 1. 2. 9.
තෙවැනි හේතු සූත්‍රය
20. සැවැත්නුවර–
මහණෙනි, රූපය අනාත්ම යැ, රූපයාගේ උත්පාදය සඳහා යම් මැ හේතුයෙක් යම් මැ ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද අනාත්ම යැ. මහණෙනි, රූපය අනාත්ම සම්භූත යි. කොයින් ආත්මයෙක් වේ ද. වේදනාව අනාත්ම යැ … සංඥාව අනාත්ම යැ … සංස්කාරයෝ අනාත්මයහ … විඥානය අනාත්ම යැ. විඥානයාගේ උත්පාදය පිණිස යම් හේතුයෙක් ඇත් ද, යම් ප්‍රත්‍යයෙක් ඇත් ද, හෙ ද අනාත්ම යැ. මහණෙනි, විඥානය අනාත්ම සම්භූත යි. කොයින් ආත්මයෙක් වේ ද.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි නිර්වේද කරයි, වෙදනායෙහිදු නිර්වේද කරයි, සංඥායෙහිදු නිර්වේද කරයි, සංස්කාරයන්හිදු නිර්වේද කරයි, විඥානයෙහිදු නිර්වේද කරයි. නිර්වේද කරනුයේ විරාග කරයි. විරාග හේතුයෙන් මිදෙයි, මිදුණු කල “විමුක්තයෙමි” යි ඥානය පහළ වෙයි. ජාතිය ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඒ අර්‍හත්‍වය පිණිස අන් කිසෙක් නැතියි නුවණින් දනී.
1. 1. 2. 10.
ආනන්‍ද සූත්‍රය
21. සැවැත්නුවර–
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ.:
වහන්ස, නිරෝධ යැ. නිරෝධ යැ යි කියනු ලැබෙයි. වහන්ස, කවර ධර්‍ම කෙනෙකුන්ගේ නිරෝධයෙන් ‘නිරෝධය යි’ කියනු ලැබේ ද?