1. 1. 1. 8.
දෙවැනි උපාදාපරිතස්සනා සූත්‍රය
8. සැවැත්නුවර–
මහණෙනි, තොපට උපාදාපරිතස්සනාව ද, අනුපාදාඅපරිතස්සනාවද දේශනා කරන්නෙමි. එය අසවු ...
මහණෙනි, උපාදාපරිතස්සනා කිසෙයින් වේය යත්:
මහණෙනි, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන රූපය “තෙල මගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම” යි දකියි. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි, අන් අයුරු වෙයි. රූපයාගේ විපරිණාම අන්‍යථාභාවයෙන් ඔහුට සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිති.
වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය” යි දකියි. ඔහුගේ ඒ විඥානය පෙරැළෙයි, අන් අයුරු වෙයි. ඔහුට විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ උපදිත්.
මහණෙනි, මෙසෙයින් (තණ්හා මාන - දිට්ඨි - විසින්) උපාදාපරිතස්සන වෙයි.
මහණෙනි, කිසෙයින් අනුපාදා අපරිතස්සනා වේ යත්:
මහණෙනි, මෙලොව ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය “තෙල මාගේ නො වේ යැ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙයි” (විදසුන් නුවණින්) දකි යි. ඔහුගේ ඒ රූපය පෙරළෙයි, අන් අයුරු වෙයි. ඔහුට රූපයාගේ විපරිණාම - අන්‍යථාභාව හේතුයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ නූපදිති. වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය “තෙල මාගේ නො වේ යැ, තෙල මම නො වෙමි, තෙල මාගේ ආත්ම නො වෙයී” (විදසුන් නුවණින්) දකියි. ඔහුට විඥානයාගේ විපරිණාම - අන්‍යථාභාවයෙන් සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාසයෝ නූපදිත්.
මහණෙනි, මෙසෙයින් (තණ්හා - මාන - දිට්ඨි විසින් නො ගත්, හෙයින්) අනුපාදාඅපරිතස්සනා වේ යයි.
1. 1. 1. 9.
පළවැනි අතීතානාගත සූත්‍රය
9. සැවැත්නුවර–
මහණෙනි, අතීත - අනාගත රූපය අනිත්‍ය යැ, පච්චුප්පන්න (-පවත්නා) රූපයාගේ (අනිත්‍යතා පිළිබඳ) කවර කථා යැ. (අනිත්‍යමැයි) මහණෙනි, මෙසෙයින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි. අනාගත රූපය නො පතයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … අතීතානාගත විඥානය අනිත්‍ය යැ, පච්චුප්පන්න විඥාන පිළිබඳ කවර කථා යැ. (අනිත්‍ය මැ යි) මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
1. 1. 1. 10.
දෙවැනි අතීතානාගත සූත්‍රය
10. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූපය දුක් යැ, පවත්නා රූපය පිළිබඳ කවර කථා යැ (දුක් මැයි). මහණෙනි, මෙසේ (විවසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය නො පතයි, පවත්නා රූපායාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … අතීතානාගත විඥානය දුක් යැ, පවත්නා විඥානය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
1. 1. 1. 11.
තෙවැනි අතීතානාගත සූත්‍රය
11. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූපය අනාත්ම ය, වර්‍තමාන රූපය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඉකුත් රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි, මතු රූපය නො පතයි, පවත්නා රූපයාගේ කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ...