1. 1. 1. 9.
පළවැනි අතීතානාගත සූත්‍රය
9. සැවැත්නුවර–
මහණෙනි, අතීත - අනාගත රූපය අනිත්‍ය යැ, පච්චුප්පන්න (-පවත්නා) රූපයාගේ (අනිත්‍යතා පිළිබඳ) කවර කථා යැ. (අනිත්‍යමැයි) මහණෙනි, මෙසෙයින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි. අනාගත රූපය නො පතයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනිත්‍ය යැ … සංඥාව අනිත්‍ය යැ … සංස්කාර අනිත්‍ය යැ … අතීතානාගත විඥානය අනිත්‍ය යැ, පච්චුප්පන්න විඥාන පිළිබඳ කවර කථා යැ. (අනිත්‍ය මැ යි) මහණෙනි, මෙසේ (විදසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
1. 1. 1. 10.
දෙවැනි අතීතානාගත සූත්‍රය
10. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූපය දුක් යැ, පවත්නා රූපය පිළිබඳ කවර කථා යැ (දුක් මැයි). මහණෙනි, මෙසේ (විවසුන් නුවණින්) දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය නො පතයි, පවත්නා රූපායාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව දුක් යැ … සංඥාව දුක් යැ … සංස්කාර දුක් යැ … අතීතානාගත විඥානය දුක් යැ, පවත්නා විඥානය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත රූපයෙහි අනපේක්‍ෂක වෙයි, අනාගත රූපය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
1. 1. 1. 11.
තෙවැනි අතීතානාගත සූත්‍රය
11. සැවැත්නුවර–
මහණෙනි, අතීතානාගත රූපය අනාත්ම ය, වර්‍තමාන රූපය පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඉකුත් රූපයෙහි අපේක්‍ෂා රහිත වෙයි, මතු රූපය නො පතයි, පවත්නා රූපයාගේ කලකිරීම පිණිස, නො ඇල්ම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. වේදනාව අනාත්ම යි ... සංඥාව අනාත්ම යි ...
සංස්කාර අනාත්ම යි ... අතීතානාගත විඥානය අනාත්ම යි, වර්‍තමාන විඥාන පිළිබඳ කවර කථා යැ. මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක අතීත විඥානයෙහි අපේක්‍ෂා රහිත වෙයි, අනාගත විඥානය නො පතයි, ප්‍රත්‍යුත්පන්න විඥානයාගේ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ ය යි.
පළමුවැනි නකුලපිතු වර්‍ග යි.
එහි උද්දානය:
නකුලපිතු සූත්‍රය, දේවදහ සූත්‍රය, හාලිද්දක සූත්‍ර දෙකය, සමාධි සූත්‍රය, පටිසල්ලාන සූත්‍රය, උපාදාපරිතස්සනා සූත්‍ර දෙකය, අතීතානාගත සූත්‍ර තුන දැයි එකොලොසකින් නකුලපිතු වර්‍ගය යුක්ත යයි කියනු ලැබේ.