1. 1. 1. 6.
පටිසල්ලාන සූත්රය
6. සැවැත්නුවර–
මහණෙනි, පිළිසලනෙහි (කායවිවේකයෙහි) යෙදෙවු. මහණෙනි, පිළිසලනෙහි යෙදුණු මහණ යාථාවයෙන් (තතු සේ ) දනී. කුමක් තතු සේ දනී ද යත්: රූපයෙහි සමුදය ද අස්තගමය ද, වේදනායෙහි සමුදය ද අස්තගමය ද, සංඥායෙහි සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, විඥානයෙහි සමුදය ද අස්තගමය ද දනී.
මහණෙනි, රූපයෙහි සමුදය කවරේ ද, වේදනායෙහි සමුදය කවරේ ද, සංඥායෙහි සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයෙහි සමුදය කවරේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ පතයි, මැනවැ යි කියයි, බැසැ ගෙන සිටී. කුමක් පතා ද මැනවැ යි කියා ද බැසැ ගෙන සිටී ද: රූපය පතයි. මැනවැයි කියයි. බැසැ ගෙන සිටී. රූපය පතන මැනවැයි කියන බැස ගෙන සිටින ඔහුට නන්දිසංඛ්යාත තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදාන යි. උපාදාන ප්රත්යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්රත්යයයෙන් ජාතිය වෙයි. ජාති ප්රත්යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
වේදනාව පතයි. … සංඥාව පතයි. … සංස්කාරයන් පතයි. … විඥානය පතයි. මැනැවැ යි කියයි. බැසැ ගෙන සිටී. විඥානය පතන මැනැවැයි කියන බැසැ ගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය උපාදාන යි. උපාදාන ප්රත්යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්රත්යයයෙන් ජාතිය වෙයි. ජාති ප්රත්යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
මහණෙනි, මේ රූපයෙහි සමුදය යි. මේ වේදනායෙහි සමුදය යි. මේ සංඥායෙහි සමුදය යි. මේ සංස්කාරයන්ගේ සමුදය යි. මේ විඥානයෙහි සමුදය යි.
මහණෙනි, රූපයෙහි නිරෝධය කවරේ ද, වේදනායෙහි නිරෝධය කවරේ ද, සංඥායෙහි නිරෝධය කවරේ ද, සංස්කාරයන්ගේ නිරෝධය කවරේ ද, විඥානයෙහි නිරෝධය කවරේ ද:
මහණෙනි, මෙහි මහණ නො පතයි. මැනවැ යි නො කියයි. බැසැ ගෙන නො සිටී. කුමක් නො පතා ද, මැනවැ යි නො කියා ද, බැසැ ගෙන නො සිටී ද: රූපය නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටී. රූපය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
වේදනාව නො පතයි … සංඥාව නො පතයි … සංස්කාරයන් නො පතයි … විඥානය නො පතයි. මැනවැ යි නො කියයි. බැසැ ගෙන නො සිටී. විඥානය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
මහණෙනි, මේ රූපයෙහි නිරෝධය යි. මේ වේදනායෙහි නිරෝධය යි. මේ සංඥායෙහි නිරෝධය යි. මේ සංස්කාරයන්ගේ නිරෝධය යි. මේ විඥානයෙහි නිරෝධය යි.
1. 1. 1. 7.
පළමුවැනි උපාදාපරිතස්සනා සූත්රය
7. සැවැත්නුවර–
මහණෙනි, තොපට උපාදානයෙන් උපන් පරිතස්සනාව ද අනුපාදානයෙන් වන අපරිතස්සනාව ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියමි යි. ‘වහන්ස, එසේ’ යයි ඒ මහණහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, උපාදානයෙන් වන පරිතස්සනාව කෙසේ වේ ද යත්:
මහණෙනි, ආර්ය්යයන් නො දක්නා ආර්ය්යධර්මයෙහි අදක්ෂ ආර්ය්යධර්මයෙහි නො හික්මුණු, සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්මයෙහි අදක්ෂ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණු නූගත් පුහුදුන් තෙමේ රූපය ආත්මය යි හෝ, ආත්මය රූප ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි රූපය පවතී ය යි හෝ, රූපයෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ රූපය පෙරැළෙයි. අන්යාකාර වෙයි. ඔහුගේ ඒ රූපය පෙරැළීමෙන් අන්යාකාර වීමෙන් කර්මවිඥානය රූපයේ පෙරැළීම අනුව පෙරැළෙනසුලු වෙයි. රූපයේ පෙරැළීම අනුව පෙරැළුණු සිතින් උපන් තණ්හාපරිතස්සනා ද අකුශලධර්ම සමුත්පාදයෝ ද ඔහුගේ කුසල් සිත ක්ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද අපේක්ෂා (ආලය) ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.
වේදනාව ආත්මය යි හෝ, ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ, ආත්මයෙහි වේදනාව පවතී ය යි හෝ, වේදනාවෙහි ආත්මය පවතී ය යි හෝ දකී. ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් සැහැවි වෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීමෙන් අන් සැහැවි වීමෙන් කර්මවිඥානය වේදනායෙහි වෙනස් වීම අනුව පෙරැළෙනසුලු වෙයි. වේදනාවේ වෙනස් වීම අනුව පෙරැළුණු සිතින් හටගත් තණ්හාපරිතස්සනා ද අකුශලධර්ම සමුත්පාදයෝ ද ඔහුගේ සිත ක්ෂය කොට ගෙන සිටිත්. චිත්තපරියාදානයෙන් තැති ගැනුම් ඇත්තේ ද දුක් ඇත්තේ ද ආලය ඇත්තේ ද වෙයි. දැඩි කොට ගෙන ද පෙළෙයි.