1. 1. 1. 5.
සමාධිභාවනා සූත්‍රය
5. මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී. කුමක් යථාවයෙන් දනී ද යත්: රූපයාගේ සමුදය ද අස්තගමය ද, වේදනාවේ සමුදය ද අස්තගමය ද, සංඥාවේ සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, ව්ඥානයාගේ සමුදය ද අස්තගමය ද දනී.
මහණෙනි, රූපයාගේ සමුදය (හටගැන්ම) කවරේ ද, වේදනාවේ සමුදය කවරේ ද, සංඥාවේ සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයාගේ සමුදය කවරේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ පතයි. මැනවැයි ලෝභවසයෙන් කියයි. බැසැගෙන සිටී, කුමක් පතා ද, මැනැවැයි කියා ද, බැසැගෙන සිටී ද: රූපය පතයි. මැනවැ යි කියයි. එහි බැසැගෙන සිටී. රූපය පතන, මැනවැ යි කියන එහි බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
වේදනාව පතයි. මැනවැයි කියයි. බැස ගෙන සිටී. වේදනාව පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානය යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වේ. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
සංඥාව පතයි. සංස්කාරයන් පතයි. මැනවැයි කියයි. ගිලගෙන සිටී. සංස්කාරයන් පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.
විඥානය පතයි. මැනවැ යි කියයි. ගිලගෙන සිටී. විඥානය පතන මැනවැ යි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
මහණෙනි, මේ රූපයාගේ සමුදය යි. මේ වේදනාවෙහි සමුදය යි. මේ සංඥායෙහි සමුදය යි, මේ සංස්කාරයන්ගේ සමුදය යි. මේ විඥානයෙහි සමුදය යි.
මහණෙනි, රූපයාගේ නිරෝධය කවරේ ද, වේදනාවෙහි නිරෝධය කවරේ ද, සංඥායෙහි නිරෝධය කවරේ ද, සංස්කාරයන්ගේ නිරෝධය කවරේ ද, විඥානයෙහි නිරෝධය කවරේ ද:
මහණෙනි, මෙසස්නෙහි මහණ නො පතයි. මැනවැයි නො කියයි. බැසැගෙන නො සිටී. කුමක් නො පතා ද, මැනවැයි නො කියා ද, බැසැ ගෙන නො සිටී ද: රූපය නො පතයි. මැනවැ යි නො කියයි. බැසගෙන නො සිටී. රූපය නො පතන මැනවැයි නො කියන බැසැගෙන නො සිටින ඔහුගේ රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසෙහි නිරෝධය වේ.
වේදනාව නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටියි. වේදනාව නො පතන මැනවැයි නො කියයන බැසැ ගෙන නො සිටින ඔහුගේ වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
සංඥාව නො පතයි ... සංස්කාරයන් නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටී. සංස්කාරයන් නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් ... මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
විඥානය නො පතයි. මැනවැයි නො කියයි. බැසැ ගෙන නො සිටියි. විඥානය නො පතන මැනවැයි නො කියන බැසැ ගෙන නො සිටින ඔහුගේ විඥානයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් එය නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භවනිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වේ.
මහණෙනි, මේ රූපයෙහි නිරෝධය යි. මේ වේදනායෙහි නිරෝධය යි. මේ සංඥායෙහි නිරෝධය යි. මේ සංස්කාරයන්ගේ නිරෝධය යි. මේ විඥානයාගේ නිරෝධය යි.