1. 1. 1. 4.
දෙවන හාලිද්දිකානි සූත්‍රය
4. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පර්‍වතයෙහි වැඩ වෙසෙති. එකල හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ ය.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි (එ අරමුණු කොට ඇති ඵලවිමුත්තියෙන්) මිදුණාහු වෙද්ද, ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්‍ෂේම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත අවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි මෙය වදාරන ලද්දේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ භාෂිතයාගේ - දේශනායෙහි අර්‍ත්‍ථය විස්තර විසින් කෙසේ දතයුතු දැ යි.
ගැහැවිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයෙහි අධිට්ඨාන අභිනිවේස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ. ගැහැවිය, වෙදනාස්කන්‍ධයෙහි ... ගැහැවිය, සංඥාස්කන්‍ධයෙහි ... ගැහැවිය, සංස්කාරස්කන්‍ධයෙහි … ගැහැවිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටෙක් යම් තෘෂ්ණාවක් යම් උපය උපාදාන කෙනෙක් අකුශල චිත්තයාගේ අධිට්ඨාන අභිනිවේස අනුසය වෙත් නම් ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් දුරැලීමෙන් බැහැර කිරීමෙන් සිත මැනවින් මිදුණේය යි කියනු ලැබේ.
ගැහැවිය, මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශක්‍රප්‍රශ්නයෙහි “යම් ඒ මහණ බමුණු කෙනෙක් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන අරමුණු කොට මිදුණාහු නම් ඔහු අත්‍යන්ත නිෂ්ඨා ඇත්තෝ යැ. අත්‍යන්ත යෝගක්‍ෂේම ඇත්තෝ යැ. අත්‍යන්ත බ්‍රහ්මචාරීහු යැ. අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇත්තෝ යැ. දෙවිමිනිසුන්ට ශ්‍රේෂ්ඨයහ” යි ඒ යමක් වදාළ සේක් නම් ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනායෙහි අර්‍ත්‍ථය විස්තර විසින් මෙසේ දත යුතු යි.
1. 1. 1. 5.
සමාධිභාවනා සූත්‍රය
5. මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, සමාධිගත මහණ යථාභූතව - ඇති සැටි දනී. කුමක් යථාවයෙන් දනී ද යත්: රූපයාගේ සමුදය ද අස්තගමය ද, වේදනාවේ සමුදය ද අස්තගමය ද, සංඥාවේ සමුදය ද අස්තගමය ද, සංස්කාරයන්ගේ සමුදය ද අස්තගමය ද, ව්ඥානයාගේ සමුදය ද අස්තගමය ද දනී.
මහණෙනි, රූපයාගේ සමුදය (හටගැන්ම) කවරේ ද, වේදනාවේ සමුදය කවරේ ද, සංඥාවේ සමුදය කවරේ ද, සංස්කාරයන්ගේ සමුදය කවරේ ද, විඥානයාගේ සමුදය කවරේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ පතයි. මැනවැයි ලෝභවසයෙන් කියයි. බැසැගෙන සිටී, කුමක් පතා ද, මැනැවැයි කියා ද, බැසැගෙන සිටී ද: රූපය පතයි. මැනවැ යි කියයි. එහි බැසැගෙන සිටී. රූපය පතන, මැනවැ යි කියන එහි බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපයෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
වේදනාව පතයි. මැනවැයි කියයි. බැස ගෙන සිටී. වේදනාව පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. වේදනාවෙහි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදානය යි. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය වේ. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාති ප්‍රත්‍යයයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසෙහි සමුදය වේ.
සංඥාව පතයි. සංස්කාරයන් පතයි. මැනවැයි කියයි. ගිලගෙන සිටී. සංස්කාරයන් පතන මැනවැයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. සංස්කාරයන්හි යම් තෘෂ්ණාවක් වේ නම් ඒ උපාදාන යි. උපාදාන ප්‍රත්‍යයයෙන් ඔහුට භවය වෙයි. භව ප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ සෝකපරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ.