1. 1. 1. 3.
හාලිද්දිකානි සූත්‍රය
3. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ අවන්ති දනව්වෙහි කුරරඝර නුවර සමීපයෙහි ප්‍රපාත පව්වෙහි වැඩවෙසෙති. එකල්හි හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වෙත එළඹියේ යැ. එළඹ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන් වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් හාලිද්දිකානි ගැහැවි ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවන්ට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටකවර්‍ගයට අයත් මාගන්‍දිය ප්‍රශ්නයෙහි දී මෙය වදාළ සේකැ:
“විඤ්ඤාණගෝචර සංඛ්‍යාත ඕකය හැරපියා අනිකෙතසාරී (රූපාදි නිමිත්තෙහි නො හැසිරෙන්නා) වූ ගම්හි සංසර්‍ගයන් නො කරන්න වූ කාමයන්ගෙන් වෙන් වූ සසරවට පෙරටු නො කරන්නා වූ ක්‍ෂීණාස්‍රව මුනි තෙමේ ජනයා සමග විරුද්ධකථා නො කරන්නේ යැ” යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ දේශනාවෙහි අර්‍ත්‍ථය විස්තර වශයෙන් කෙසේ දත යුතු දැ?යි.
ගැහැවිය, රූපස්කන්‍ධය කර්‍මවිඥානයාගේ ප්‍රත්‍යය සංඛ්‍යාත ඕකය යි. රූපස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ඕකසාරි (ගෘහාලයයෙහි හැසිරෙන්නා) ය යි කියනු ලැබේ. ගැහැවිය, වේදනාස්කන්‍ධය විඥානයාගේ ගෘහය යි. වේදනාස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංඥාස්කන්‍ධය, විඥානයාගේ ගෘහය යි. සංඥාස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, සංස්කාරස්කන්‍ධය විඥානයාගේ ගෘහ යයි. සංස්කාරස්කන්‍ධයෙහි ඇල්මෙන් බැඳුණු විඥානය ගෙහි හැසිරෙන්නා යයි කියනු ලැබේ. ගැහැවිය, මෙසේ ඕකසාරී වේ.
ගැහැවිය, කෙසේ නම් අනෝකාසාරී වේ ද? ගැහැවිය, රූපස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් (තෘෂ්ණා දෘෂ්ටි) උපය කෙනෙක්, (කාමුපාදානාදී සිවු) උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වූවාහු වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තල් ගසක් මෙන් කරන ලදහ. අත්‍යන්තයෙන් අභාවයට පමුණුවන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී (ගෙහි නො හැසිරෙනු) යයි කියනු ලැබෙත්. ගැහැවිය, වේදනාස්කන්‍ධයෙහි … ගැහැවිය, සංඥාස්කන්‍ධයෙහි … ගැහැවිය, සංස්කාරස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. හිස් සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය, විඥානස්කන්‍ධයෙහි යම් ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් සතුටු වීමෙක් යම් තෘෂ්ණාවක්, යම් උපය උපාදාන කෙනෙක් අකුසල් සිත්හි අධිෂ්ඨාන අභිනිවේස අනුසය වෙද්ද, ඔහු තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල් කරන ලදහ. මුදුන්සුන් තලක් මෙන් කරන ලදහ. අනුඅභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනෝකසාරී ය යි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනෝකසාරී වේ.
ගැහැවිය, කෙසේ නම් නිකේතසාරී (නිවෙස්හි හැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවෙස්හි උපන් කෙලෙසුන්ගේ විසාර පැතිරීම හා විනිබන්‍ධ බැඳීම හේතුකොටගෙන නිකේතසාරී යයිකියනු ලැබේ. ශබ්දාලම්බන … ගන්‍ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්‍මාලම්බන නැමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ පැතිරීමෙන් හා බැඳීමෙන් නිකේතසාරී යයි කියනු ලැබේ. ගැහැවිය මෙසේ නිකේතසාරී වේ.
ගැහැවි, කෙසේ නම් අනිකේතසාරී (නිවෙස්හි නොහැසිරෙන්නේ) වේ ද යත්: ගැහැවිය, රූපාලම්බන නමැති නිවාසයෙහි (හටගත් කෙලෙසුන්ගේ) විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ශබ්දාලම්බන … ගන්‍ධාලම්බන … රසාලම්බන … ස්ප්‍රෂ්ටව්‍යාලම්බන … ගැහැවිය, ධර්‍මාලම්බන නමැති නිවෙස්හි හටගත් කෙලෙසුන්ගේ විසාරවිනිබන්‍ධයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදහ. උසුන් මුල්කරන ලදහ. තාලාවස්තුක කරන ලදහ. අනභාව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇත්තාහ. එහෙයින් තථාගතයන් වහන්සේ අනිකේතසාරී යයි කියනු ලැබෙත්. ගැහැවිය මෙසේ අනිකේතසාරී වේ.