1. 1. 1. 2.
දේවදහ සූත්‍රය
2. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ දේවදහ නම් නියම්ගම්හි වැඩ වසන සේක.
එ කල්හි අපරදිග දනව්වට යනු කැමති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, අපි අපරදිග දනව්වට යන්නටත්, අපරදිග දනව්වෙහි වාසය කිරීමටත් කැමැත්තෙමු” යි.
මහණෙනි, තොප විසින් සැරියුත් පුළුවුස්නා ලද්දේ දැ යි. වහන්ස, අප විසින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නො පුළුවුස්නා ලදහ යි. මහණෙනි, සැරියුත් පුළුවුසිවු. මහණෙනි, සැරියුත් පණ්ඩිතයෙක, සබ්‍රම්සරුන්ට අනුග්‍රහ කරන්නේ වෙයි. වහන්ස, එසේ ය යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
එ සමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි එක්තුවර ලැහැබෙක වැඩහුන්නාහු වෙති. එ කල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අපි පසුළුදිග දනව්වට යන්නටත්, පසුළුදිග දනව්වෙහි වසන්නටත් කැමැත්තෙමු. අප විසින් ශාස්තෲන් වහන්සේ පුළුවුස්නා ලදහ” තෙල කීහ.
ඇවැත්නි, අන්රජයකට ගිය මහණහු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත්තාහු ම ය. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු ‘ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කුමන ලබ්ධි ඇත්තේද, කුමක් (අවවාද විසින්) කියන්නේ’ දැ යි, විමසන්නෝය. යම් සේ ප්‍රකාශ කරන්නා වූ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෝත් වන්නහු නම්, භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් නො ද නින්‍දා කරන්නහු නම්, දහමටද අනු දහමක් පවසන්නහු නම්, කරුණු සහිත වූ කිසියම් වාදානුවාදයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණෙන්නේ නම් - කීම, ආයුෂ්මත් තොප විසින් (එසේ) දහම් මැනැවින් අසන ලද ද, සකසා උගන්නා ලද ද, මනා කොට මෙනෙහි කරන ලද ද, මැනැවින් සලකා බලන ලද ද, නුවණින් මනා කොට අවබෝධ කරන ලද දැ යි.
“ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ සමීපයෙහි තෙල භාෂිතයෙහි අරුත් දැන ගන්නට දුර සිට වුවත් එන්නෙමු. මැනැවි, ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට ම තෙල වචනයෙහි අරුත වැටහේවා” යි.
ඇවැත්නි, එසේනම් අසවු. මැනැවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘ඇවැත්නි, එසේ ය’ යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්වන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරුණුවෝ මෙය වදාළහ:
ඇවැත්නි, අන්‍යදේශගත මහණහුගෙන් පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද ඇත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෘ තෙමේ කිනම් වාද ඇත්තේ ද, කුමක් (අවවාද වසයෙන්) කියන්නේ දැ” යි, විමසන්නෝ මැ යි.
ඇවැත්නි, මෙසේ පුළුවුස්නා ලද තෙපි “ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ ඡන්‍දරාගය නැසීම පවසන සේකැ” යි මෙසේ ප්‍රකාශ කරවු.
ඇවැත්නි, මෙසේ පැවසූ කල්හිද මතුයෙහි දු පැන පුළුවුස්නා කැත් පඬුවෝ ද බමුණු පඬුවෝ ද ගැහැවි පඬුවෝ ද මහණ පඬුවෝ ද වෙත් මැ යැ. ඇවැත්නි, පණ්ඩිත මිනිස්සු “ආයුෂ්මතුන්ගේ ශාස්තෲ තෙමේ කිමෙක්හි ඡන්‍දරාග නැසීම පවසන්නේ දැ” යි විමසන්නෝ මැ යි.