9. 1. 4.
නවභික්ඛු සූත්රය
398. සැවැත්නුවර–
එකල්හි එක්තරා නව මහණෙක් පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සක ව නිහඬව වෙසෙයි. සිවුරු කරණ සමයෙහි භික්ෂූන්ට වතාවත් නො කෙරෙයි. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සුක ව නිහඬ ව වෙසෙයි. සිවුරු කරණ සමයෙහි භික්ෂූන්ට වතාවත් නො කෙරේ යි.
එකල්හි භාග්යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: “මහණ එව, තෝ මාගේ වචනයෙන් ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි ඒ මහණ අමතව. “වහන්ස, එසේ ය” යි ඒ මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මහණ කරා එළඹියේ ය. එළඹ “ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ”යි ඒ මහණහට මෙය කී ය. ඒ මහණ තෙමේ “ඇවැත්නි, එසේ ය”යි ඒ මහණහට පිළිවදන් අස්වා භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ... එකත්පසෙක හුන් ඒ මහණහට භාග්යවතුන් වහන්සේ: “මහණ තෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනේ වෙහෙරට පිවිස නිරුත්සුක වූයේ නිහඬ ව වෙසෙහි, සිවුරු කරණ සමයෙහි භික්ෂූන්ට වතාවත් නො කෙරෙහි, සැබෑ දැ” යි මෙය වදාළ සේක. “වහන්ස, මම සිය කට යුතු කෙරෙමි යි”.
එකල්හි භාග්යවතුන් වහන්සේ සිය සිතින් ඒ මහණහුගේ චිත්තපරිවිතර්කය දැන භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි තෙල මහණහට නහමක් අවමන් කරවු. “මහණෙනි, තෙල මහණ තෙමේ උතුම් සිත ඇසුරු කළ ඉහාත්මයෙහි සැපවිහරණ වූ සතර ධ්යානයන් කැමැති සේ ලබන්නෙක්. නිදුකින් ලබන්නෙක්. මහත් සේ ලබන්නෙක්. යමක් පිණිස කුල පුත්රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්හත්වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරේ” යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ වැලි අන් අයුරින් මෙය වදාළ සේක:
සියලු ග්රන්ථයන් මුදන මේ නිවන ශිථිලවීර්ය්යයෙන් අවබෝධ නො කට හැකිය. මේ නිවන ස්වල්ප වූ ශක්තියකින් ලැබිය නො හැකි ය.
මේ දහර මහණෙකි. උතුම් පුරුෂයෙක් වූ මෙතෙමේ සේනා සහිත මරු දිනා අන්තිම ශරීරය දරණේ යි.
9. 1. 5.
සුජාත සූත්රය
399. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් සුජාත තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්යවතුන් වහන්සේ එන්නා වූ සුජාත තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක:
මහණෙනි, මේ කුලදරු තෙමේ කරුණු දෙකෙකින් හොබී: “විශිෂ්ට රූප ඇත්තේ දැකුම්කලු වූයේ පැහැ එළවන උතුම් වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වූයේ ය” යන යම් කරුණෙකුත් වේ ද, “යමක් පිණිස කුලපුත්රයෝ මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට වදිත් නම් මහබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර වූ අර්හත්ත්වය මේ අත් බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලබා වාසය කෙරෙයි” යන යම් කරුණෙකුත් වේ ද යන කරුණු දෙකෙනි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මේද වදාළ සේක:
මේ මහණ තෙමේ ඍජු වූ සිතින් ඒකාන්තයෙන් හොබී. කෙලෙසුන් කෙරෙන් මිදුනේ සංයෝජනයන්ගෙන් වෙන් වූයේ උපාදානරහිත ව නිවියේ සේනා සහිත මරු දිනා අන්තිමශරීරය දරණේ යි.
9. 1. 6.
ලකුණ්ටකභද්දිය සූත්රය
400. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය තෙරුන් දුර දී ම එනුවන් දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක:
මහණෙනි, තෙපි තෙල එන්නා වූ දුර්වණ නපුරු දැකුම් ඇති මිටි වූ භික්ෂූන් විසින් අවමන් කරණ ලද ස්වරූප ඇති මහණ දකිවු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් නො සමවන්විරූ යම් සමවතෙක් වේ ද, එබඳු සමවතෙක් සුලබ නො වේ. කුලපුත්රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තරඅර්හත්වය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක … ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:
හංසයෝත් කොස්වාලිහිණියෝත් මොනරුත් ඇත්තුත් තිත් මුවෝත් සියල්ලෝ සිංහයාගෙන් බති. කයෙහි සමබවෙක් (පමණ ගිණීමෙක්) නැත.
එසෙයින් ම මිනිසුන් අතර නුවණැත්තේ ඉදින් ලදරු වූයේ ද, හෙතෙමේ ම එහි පූජ්ය වෙයි. බාල (අඥ) තෙමේ මහත් සිරුරක් ඇත්තේ ද නො ම පූජ්ය වෙයි.