9. 1. 11.
මහාකප්පින සූත්‍රය
405. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුර දී ම දුටු සේක. දැක භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තෙපි එන්නා වූ සුදු සිහින් උස් නැහැයක් ඇති තෙල මහණ දකිවු ද? වහන්ස, එසේ ය.
මහණෙනි, තෙල මහණ තෙමේ මහත් ඍද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි. ඒ මහණහු විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එබඳු සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම් මගබඹසර අවසන් කොට ඇති අනුත්තර වූ ඒ අර්‍හත්ත්‍වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසේ ය යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:
යම් කෙනෙක් ග්‍රෝත්‍රය ප්‍රතිඥා කෙරෙත් නම් මේ ප්‍රජාව කෙරෙහි ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් සමන්‍විත වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් කෙරෙහි ශ්‍රේෂ්ඨහ.
හිරු දහවල් බබලයි. සඳු රෑ බබල යි. ක්‍ෂත්‍රිය තෙමේ සන්නාහ සන්නද්ධ වූයේ බබලයි. රහත් බමුණු තෙමේ ධ්‍යාන කරනේ බබලයි. වැලි, බුදුරජානන් වහන්සේ මුළු රෑ දාවල් තෙදින් බබලති යි.
9. 1. 12.
සහායක සූත්‍රය
406. සැවැත්නුවර–
එකල්හි ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ගේ සද්ධිවිහාරික වූ යහලු භික්‍ෂූහු දෙනමක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ ඔවුන් දුරදී ම දුටු සේක. දැක භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, තෙපි මහාකප්පිනගේ සද්ධිවිහාරික වූ තෙල එන යහලු භික්‍ෂූන් දෙනම දකිවු ද? වහන්ස, එසේ ය.
මහණෙනි, තෙල භික්‍ෂූහු මහත් ඍද්ධි ඇතියහ. මහත් ආනුභාව ඇතියහ. ඒ භික්‍ෂූන් විසින් යම් සමවතක් නො සමවන් විරූ නම් එවැනි සමවතක් නො ම සුලබ ය. කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, මගබඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ත්‍වය මේ අත්බැව්හි ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැලි මෙය ද වදාළ සේක:
මේ යහලු භික්‍ෂූහු දිගුකලක් සමෙතිකා (මනා සේ සැසඳීම් වසයෙන් සම වූ සම්මාදිට්ඨි ආදි ලබ්ධි) ඇතියෝ ම ය. (එහෙයින් ම දැන්) බුදුරජුන් විසින් පැවසූ ධර්‍මයෙහි ඔවුන්ගේ ප්‍රතිපත්ශාසන ධර්‍මය සම වේ. (හොබනේ වේ.)
ආර්‍ය්‍ය බුදුරජුන් දෙසූ ධර්‍මයෙහි කප්පින විසින් මැනැවින් හික්මවන ලද ඔහු සේනා සහිත මරු දිනා අවසන් සිරුර දරත්.
පළමුවන වර්‍ගය යී.
එහි උද්දානය:
කෝලිත, සාරිපුත්ත, ඝට, නව (භික්ඛු), සුජාත, භද්දිය, විසාඛ, (පඤ්චාලිපුත්ත) නන්‍ද, තිස්ස, ථෙරනාම, කප්පින, සහාය යි සූත්‍ර දොළසෙක් කියනු ලැබේ.
භික්ඛුසංයුත්තය නිමියේ යි.
නිදාන වර්‍ගයේ සංයුත්ත උද්දානය:
අභිසමය, ධාතු, අනමතග්ග, කස්සප, ලාභසක්කාර, රාහුල, ලක්ඛණ, ඔපමම, භික්ඛු යන මේ සංයුත්තයන්ගෙන් දෙවෙනි වූ නිදාන වර්‍ගය සම්පූර්‍ණ ය යි කියනු ලැබේ.
නිදානවර්‍ගය නිමියේ ය.