8. 1. 9.
නාග සූත්රය
391. සැවැත්නුවර–
එකල්හි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් කරා එළඹෙයි. භික්ෂූහු ඒ මේ මහණහට “ආයුෂ්මතුනි, වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිත්. කවර හෙයකින් මම නො එළඹෙම් දැ”යි මෙසේ කී ය.
එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් වෙත එළඹෙයි. ඒ මේ මහණහට භික්ෂූහු “ආයුෂ්මතුනි, මෙසේ වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි කීහ. ඒ මහණ තෙමේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිති. කවර හෙයෙකින් මම නො එළඹෙම් දැ යි මෙසේ කී ය” යි මෙය සැලකළහ.
මහණෙනි, පෙර වූවක් කියමි: “වන පෙදෙසක මහවිලෙක් විය. ඇත්තු ඒ විල ඇසුරු කොට වෙසෙති. ඔහු ඒ විලට බැස සොඬින් නෙලුඹල හා නෙලුඹුදැලි උදුරා ගෙණ සුපිරිසිදු ව සෝදා මඩ රහිතව සපා ගිලිත්. එය ඔවුන්ගේ වර්ණය පිණිස ද බලය පිණිස ද වේ. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකකට හෝ නො පැමිණෙති.
මහණෙනි, ඒ මහා ඇතුන් අනුව හික්මෙන්නා වු තරුණ ඇත්පැටව් වෙත්. ඔහු ඒ විලට බැස සොඬින් නෙලුඹල හා නෙලුඹුදැලි උදුරා ගෙණ පිරිසිදු ව නො සෝදා මඩ සහිතව නො සපා ගිලිත්. එය ඔවුන්ගේ වර්ණය පිණිස නො වේ ම ය. බලය පිණිස ද නො වේ ම ය. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණෙත්.
මහණෙනි, එපරිද්දෙන් ම මෙසස්නෙහි ස්ථවිරභික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඔහු එහි දී දහම් දෙසත්. ගිහියෝ ඔවුනට පහන් අයුරක් කෙරෙත්.(ප්රත්ය දෙත්.) ඔහු නො ගිජු වූවාහු මුසපත් නො වූවාහු තෘෂ්ණාවෙන් නො ගැලී සිටියාහු දොස් දක්නාසුලු වූවාහු සසරින් නික්ම යෑමේ නුවණින් යුක්ත වූවාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. එය ඔවුන්ගේ වර්ණය පිණිස ද බලය පිණිස ද වේ. ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ නො පැමිණෙත්.
ඒ ස්ථවිර භික්ෂූන් අනුව ම හික්මෙන්නා වූ නවක භික්ෂූහු තුමූ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙත්. ඔහු එහි දහම් දෙසත්. ගිහියෝ ඔවුනට පහන් අයුරක් කෙරෙත් (ප්රත්යය දෙත්.) ඔහු ගිජු වූවාහු මුසපත් වූවාහු තෘෂ්ණාවෙන් ගැලුනාහු දොස් නො දක්නාසුලු වූවාහු නික්ම යෑමේ නුවණ නැත්තාහු ඒ ලාභය වළඳත්. එය ඔවුන්ගේ වර්ණය පිණිස නො ම වේ. බලය පිණිස ද නො ම වේ. ඔහු ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණෙත්.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “නො ගිජු වූවමෝ මුසපත් නුවූවමෝ තෘෂ්ණාවෙහි නො ගැලුනමෝ දොස් දක්නමෝ නිස්සරණ ප්රඥා ඇත්තමෝ ලාභය වළඳන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 10.
බිළාල සූත්රය
392. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්ෂූහු ඒ මොහුට “ආයුෂ්මත්නි, වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නො පැමිණෙව”යි මෙසේ කීහ. භික්ෂූන් විසින් කියනු ලබන ඒ මහණ තෙමේ නො ඇලෙයි.