8. 1. 10.
බිළාල සූත්රය
392. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්ෂූහු ඒ මොහුට “ආයුෂ්මත්නි, වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නො පැමිණෙව”යි මෙසේ කීහ. භික්ෂූන් විසින් කියනු ලබන ඒ මහණ තෙමේ නො ඇලෙයි.
එකල්හි බොහෝ භික්ෂූහු ... භාග්යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා මහණෙක් වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට පැමිණෙයි. භික්ෂූහු ඔහුට ආයුෂ්මතුනි “වෙලාව ඉක්මවා කුලයන්හි හැසිරීමට නහමක් පැමිණෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ නො ඇලේ ය”යි මෙය සැළකළහ.
මහණෙනි, පෙර වූවක් කියමි: බළලෙක් ගෘහසන්ධියෙහි (දෙගෙයක් අතර) හෝ මලවහන දියැලක හෝ කසළගොඩක හෝ “යම් කලෙක මේ මෘදු මූෂිකාව ගොදුරු පිණිස යන්නේ ද, එහි දී ම ඌ ගෙණ කන්නෙමි”යි මුදුමීයකු සොයමින් සිටියේ විය. මහණෙනි, එකල්හි ඒ මුදු මීයා ගොදුරු පිණිස නික්මුනේ ය. බළලා ඒ මූ ගෙණ නො සපා වහා ගැලපී ය. ඒ මුදු මීයා ඒ බළලාගේ අතුනු ද කෑ ය. අතුනුබහන් ද කෑ ය ඒ හේතුවෙන් ඒ බළලා මරණයට හෝ මරණය හා සම දුකට හෝ පැමිණියේ ය.
මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නො රක්නා ලද්දාවූ ම කයින් නො රක්නා ලද වචනයෙන් නො රක්නා ලද සිතින් නො එළඹ සිටි සිහියෙන් සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි.
හෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙරවූ හෝ මාගමක් දකී. නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙරවූ හෝ මාගම දැකීමෙන් රාගය ඔහුගේ සිත වනසයි. හෙතෙමේ රාගයෙන් නැසුනු සිතින් මරණයට හෝ මරණය සම දුකකට හෝ පැමිණෙයි. මහණෙනි, යමෙක් සිකපිළිකෙව් කොට ගිහිබවට පෙරළේ ද, මේ සස්නෙහි මරණය යි. මහණෙනි, යම් බඳු ඇවතකින් නැගී සිටීමෙක් පෙණේ නම් (එබඳු) යම් කිලිටි වූ එක්තරා (උට්ඨානගාමිනී) ඇවතකට පැමිණේ ද, ඒ මරණය හා සම දුක ය.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “රක්නා ලද්දා වූ ම කයින් රක්නා ලද වචනයෙන් රක්නා ලද සිතින් එළඹ සිටි සිහියෙන් සංවෘත ඉඳුරන්ගෙන් යුතු ව ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 11.
සිගාල සූත්රය
393. සැවැත්නුවර–
මහණෙනි, තෙපි රෑ පැසුළුයම්හි හඬන සිවලකුගේ හඬ අසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවල් තෙමේ උක්කණ්ටක නම් රෝගයෙන් පහස්නා ලද්දේ ය. හේ යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන යෙයි. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන සිටී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හිඳී. යම් යම් තැන කැමැත්තේ නම් ඒ ඒ තැන හොවී. සිහිල් වාතය ද ඔහු වෙත හමයි. (හේ මෙයිනුදු චිත්තාස්වාදයක් ලබයි.) මහණෙනි, යම් හෙයකින් මෙහි ‘ශාක්ය පුත්රයෙමියි ප්රතිඥා ඇති ඇතැමෙක් මෙබඳු වූ අත්බැව් පිළිලැබීමක් (චිත්තාස්වාදයක්) විඳිනේ නම් එය යහපත් වන්නේ ය. (මෙය දෙව්දත් සඳහා කියූ.)
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.