8. 1. 6.
ධනුග්ගහ සූත්‍රය
388. සැවැත්නුවර–
මහණෙනි, යම් සේ දැඩි දුනු දරණ නිපුණ වූ කෘතහස්ත වූ දැක්වූ ධනුශ්ශිල්ප ඇති දුනුවායෝ සිවුදෙනෙක් සිවුදිග සිටියෝ ද, එකල්හි දැඩි දුනු ඇති නිපුණ වූ කෘතහස්ත වූ දැක් වූ ධනුශ්ශිල්ප ඇති මේ සිවු දුනුවායන් විසින් සිවුදිගට විදින ලද ඊතල පොළොවෙහි නො පිහිටියවුන්ම (පොළොව නොහෙන තෙක්ම) මම හැර ගෙණ එන්නෙමි”යි. පුරුෂයෙක් එන්නේ ය. මහණෙනි, ඒ කිමැයි හගිවූ ද, “එසේ දිවිය හෙන්නා වූ මේ පුරුෂ තෙම උතුම් ජව ඇත්තේ ය යි - දිවිය හෙන්නේ ය යි කියන්නට සුදුසු දැ”යි:
වහන්ස, දැඩි දුනු දරණ උගත් පළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායකු විසිනුදු විදිනලද හීය පොළොව නො හෙන තෙක් ම ඉදින් හැර ගෙණ එන්නේ නම් එසේ දිවිය හෙන පුරුෂයා උතුම් ජව ඇත්තේ ය යි කියන්නට සුදුසු ය. දැඩි දුනු දරණ උගත් කළපුරුදු දැක්වූ සිප් ඇති එක් දුනුවායන් සිවුදෙනෙකුන් විදි හී ගැණ කවර කථා ද?
මහණෙනි, ඒ පුරුෂයාගේ වේගය යම්බඳු ද, සඳහිරු දෙදෙනාගේ යම්බඳු වේගයෙක් වේ නම් (එය) ඊට වඩා ශීඝ්‍ර ය. මහණෙනි, ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය, යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව යම් සේ දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය එයට වඩා ශීඝ්‍රය. ඒ පුරුෂයාගේ වේගය යම් බඳු ද, සඳහිරු දෙදෙනාගේ වේගය යම් බඳු ද, යම් දේවතා කෙනෙක් සඳහිරු දෙදෙනාට පෙරටු ව දිවෙත් නම් ඒ දේවතාවන්ගේ වේගය යම් බඳු ද, ඊට වඩා ශීඝ්‍රව ආයුසංස්කාරයෝ (රූප ජිවිතින්‍ද්‍රියයෝ) ක්‍ෂය වෙත්.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “නො පමා ව වෙසෙන්නෙමු” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 7.
ආණි සූත්‍රය
389. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි: (අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින්) දසාරහ (නම් වූ) ක්‍ෂත්‍රියන්ගේ ආණක නම් මිහිඟු බෙරයෙක් විය. දසාරහයෝ ඒ අණබෙරය පැළුනු කල්හි ඊට අන් ඇණයක් ගැසූහ. මහණෙනි, යම් කලෙක්හි ආණක මිහිඟුබෙරයේ පැරණි බෙරකඳ අතුරුදන් වී ද, ඇණහැකිල්ල ම ඉතිරි වීද, එබඳු කලෙක් වූයේ ම ය.
මහණෙනි, එහෙයින් ම මතුකාලයෙහි භික්‍ෂූහු වන්නාහ. (ඔහු) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දක්වන ශුන්‍යතාධර්‍මය පවසන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් පිටත්හි වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි ද පිරිවැහිය යුතු ය යි ද හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේ ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම උගත යුතුය යි, පිරිවැහිය යුතු ය යි සිතන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.