8. 1. 7.
ආණි සූත්‍රය
389. සැවැත්නුවර–
මහණෙනි, පෙර වූවක් කියමි: (අස්වැන්නෙන් දශයෙන් කොටසක් ගන්නා බැවින්) දසාරහ (නම් වූ) ක්‍ෂත්‍රියන්ගේ ආණක නම් මිහිඟු බෙරයෙක් විය. දසාරහයෝ ඒ අණබෙරය පැළුනු කල්හි ඊට අන් ඇණයක් ගැසූහ. මහණෙනි, යම් කලෙක්හි ආණක මිහිඟුබෙරයේ පැරණි බෙරකඳ අතුරුදන් වී ද, ඇණහැකිල්ල ම ඉතිරි වීද, එබඳු කලෙක් වූයේ ම ය.
මහණෙනි, එහෙයින් ම මතුකාලයෙහි භික්‍ෂූහු වන්නාහ. (ඔහු) තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දක්වන ශුන්‍යතාධර්‍මය පවසන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති නො වන්නාහ. කන් යොමු නො කරන්නාහ. අවබෝධය පිණිස සිත නො එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි පිරිවැහිය යුතු ය යි නොසිතන්නාහ. කවීන් විසින් කරණ ලද කවීන් විසින් නිපදවන ලද විසිතුරු ව්‍යඤ්ජන ඇති සස්නෙන් පිටත්හි වූ (අන්) සව්වන් විසින් දෙසන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් කියනු ලබන කල්හි අසනු කැමති වන්නාහ. කන් යොමු කරන්නාහ. අවබෝධය පිණිස සිත එළවන්නාහ. ඒ දහම් උගත යුතු ය යි ද පිරිවැහිය යුතු ය යි ද හඟින්නාහ. මහණෙනි, මෙසේ තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන සූත්‍රාන්තයන්ගේ අතුරුදහන් වීම වන්නේ ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ අරුත් ඇති ලොවුතුරා අරුත් දැක්වෙන ශුන්‍යතා ධර්‍මය පැවසෙන යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙද්ද, ඔවුන් දේශනා කරණු ලබන කල්හි අසනු කැමති වන්නෙමු. කන් යොමු කරන්නෙමු. අවබෝධය පිණිස සිත එළවන්නෙමු. ඒ දහම් ම උගත යුතුය යි, පිරිවැහිය යුතු ය යි සිතන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 8.
කලිඞ්ගරූපධාන සූත්‍රය
390. මා විසින් මෙසේ අසන ලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි කුටගාරශාලාවෙහි වැඩ වසන සේක. එහි දී … මෙය වදාළ සේක.
මහණෙනි, දැන් ලිච්ඡවීහු ලීකොටයක් කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්තව වීර්‍ය්‍ය ඇති ව ගුරූපාසනයෙහි (ශිල්ප හැදෑරීමෙහි) යෙදුනාහු වාසය කෙරෙති. මගධාධිපති වේදේහි පුත් අජාසත් රජ තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් (ප්‍රත්‍යයයක්) නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි ලිච්ඡවීහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් (=කොට්ට) ඇති මුදු යහන්හි හිරු උදා වන තෙක් ශයනය කරන්නාහ. මගධාධිපතී වේදේහි පුත් අජාසත් රජ තෙමේ (ඔවුන් දිනුමට) ඔවුන්ගේ සිදුරක් ලබන්නේ ය. අරමුණක් ලබන්නේ ය.
මහණෙනි, දැන් භික්‍ෂූහු ලීකොට කන්වයින් කොට ඇත්තාහු අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව ප්‍රධන්විර්‍ය්‍යයෙහි යෙදුනාහු වාසය කෙරෙත්. පවිටු මරු තෙමේ ඔවුන්ගේ සිදුරක් නො ලබයි. අරමුණක් නො ලබයි. මහණෙනි, අනාගත කාලයෙහි භික්‍ෂූහු සියුමැලි වූවෝ මුදුතුරුණු අත් පා ඇත්තෝ වන්නාහ. ඔහු පුලුන් කන්වයින් ඇති මුදු යහන්හි හිරු උදාවන තෙක් ශයනය කරන්නාහ. පවිටු මරු තෙමේ ඔවුන්ගේ සිදුරක් (අවකාශයක්) ලබන්නේ ය. අරමුණක් ලබන්නේ ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “දැව කඩක් කන්වයින් කොට ඇත්තමෝ අප්‍රමත්ත ව කෙළෙස් තවන වැර ඇති ව ප්‍රධන්විර්‍ය්‍යයෙහි යෙදුනමෝ වාසය කරන්නෙමු”යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
8. 1. 9.
නාග සූත්‍රය
391. සැවැත්නුවර–
එකල්හි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් කරා එළඹෙයි. භික්‍ෂූහු ඒ මේ මහණහට “ආයුෂ්මතුනි, වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි මෙසේ කීහ. ඒ මහණ තෙමේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්‍ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිත්. කවර හෙයකින් මම නො එළඹෙම් දැ”යි මෙසේ කී ය.
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි එක්තරා නවක මහණෙක් වෙලාව ඉක්මවා කුලයන් වෙත එළඹෙයි. ඒ මේ මහණහට භික්‍ෂූහු “ආයුෂ්මතුනි, මෙසේ වෙලාව ඉක්මවා කුලයන් කරා නො එළඹෙව”යි කීහ. ඒ මහණ තෙමේ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ “මේ ස්ථවිර භික්‍ෂූහු කුලයන් කරා එළඹිය යුතු කොට හගිති. කවර හෙයෙකින් මම නො එළඹෙම් දැ යි මෙසේ කී ය” යි මෙය සැලකළහ.