7. 1. 7.
උසුලොම සූත්රය
368. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හීලොම් (=හීමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හී උඩට නැග නැග ඔහුගේ ම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්වතෙමේ මේ රජගහනුවර ම වධකයෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 8.
සූචිලෝම සූත්රය
369. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ හිදිලොම් (= හිදිමුවා ලොම් ) ඇති පුරුෂයකු දිටිමි . ඔහුගේ ඒ හිදි උඩට නැග නැග ඔහුගේම කයෙහි වැටේ. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම රියැදුරෙක් විය. ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
7. 1. 9.
දෙවැනි සූචිලෝම සූත්රය
370. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහස්හි ගමන් කරණ හිදිලොම් (=හිදිමුවා ලොම්) ඇති පුරුෂයකු දිටිමි. ඔහුගේ ඒ හිදි හිසෙහි පිවිස මුවෙන් නික්මෙයි. මුවෙහි පිවිස ලයෙන් නික්මෙයි. ලයෙහි පිවිස කුසෙන් නික්මෙයි. කුසෙහි පිවිස කලවෙන් නික්මෙයි. කලවෙහි පිවිස කෙණ්ඩයෙන් නික්මෙයි. කෙණ්ඩයෙහි පිවිස පාදයෙන් නික්මෙයි. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, සත්ත්වතෙමේ මේ රජගහනුවර ම සූචකයෙක් (=පිසුණු බණන්නෙක්) විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළසේක.
7. 1. 10.
කුම්භණ්ඩ සූත්රය
371. ඇවැත්නි, මෙහි මම ගිජුකුළු පව්වෙන් බස්නෙම් අහසෙහි ගමන් කරණ කුම්හණ්ඩ(= කළ පමණ අණ්ඩ) ඇති පුරුෂයකු දිටිමි. හෙතෙමේ යන්නේ ද ඒ අණ්ඩ කඳට නගා ගෙණ ම යෙයි. හිඳිනේ ද ඒ අණ්ඩයන්හි ම හිඳියි. ඒ මොහු ගිජුලිහිණියොත් කවුඩෝත් උකුස්සෝත් ලුහුබඳිමින් කඩා කත්, ඉරා කත්. හෙතෙමේ ද බැගෑහඬ කෙරෙයි. ... ඉක්බිති භාග්යවතුන් වහන්සේ ... මහණෙනි, මේ සත්ත්වතෙමේ මේ රජගහනුවර ම (අල්ලස් ගන්නා) විනිසකරු ඇමතියෙක් විය ... ඒ කර්මයාගේ විපාකාවශේෂයෙන් මෙබඳු අත්බැව් පිළිලැබීමක් විඳී යි වදාළ සේක.
පළමුවැනි වර්ගය යි.
එහි උද්දානය:
ගෝඝාතක වූ අට්ඨි පෙසි සූත්ර දෙක ය, සාකුණික වූ පිණ්ඩ සූත්රය, ඔරබ්හික වූ නිච්ඡවි සූත්රය, සුකරික වූ අසි සූත්රය, මාගවික වූ සත්ති සූත්රය, කාරණික වූ උසු සූත්රය, සාරථි වූ සුචි සූත්රය, සූචක වූ සූචි සූත්රය, ගාමකූටක වූ අණ්ඩහාරී (=කුම්හණ්ඩ) සූත්රය යි සූත්ර දශයෙකි.