5. 4. 6.
පඤ්චරථසත සූත්‍රය
332. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. මුළුබත් පන්සියක්වූ බත ද එළවනු ලැබේ. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. තලි පන්සියක බත ද එළවනු ලැබේ” යි.
මහණෙනි, දෙව්දත්ගේ ලාභ සත්කාර කීර්තිප්‍රශංසා කැමති නො වවු. මහණෙනි, යම් තාක් අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය හවස දෙව්දත්හට උවටැනට යන්නේ ද, තලි පන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි, (ඒතාක්) දෙව්දත්ගේ කුසල් දහම්හි පිරිහීම ම කැමති විය යුතු යි. වැඩීම නො කැමති විය යුතු යි.
මහණෙනි, යම් සේ සැඩ බල්ලකුගේ නැහැයෙහි (නැහැසිදුරෙහි) පිත (වලස් හෝ සැඩමසු පිත) බිඳින්නාහු (සුණුකොට බහන්නාහු) ද, මහණෙනි, මෙයින් ඒ බල්ලා අතිශයින් ම සැඩ වන්නේ ය. මහණෙනි, එසෙයින් ම අජාසත් කුමාර තෙමේ රිය පන්සියකින් උදේ සවස දෙව්දත්හට උවටැනට යම් තාක් යන්නේ ද, තලිපන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි එයින් දෙව්දත්හුගේ කුසල් දහම් පිරිහීම කැමති විය යුතු. වැඩීම නො කැමති විය යුතු.
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 4. 7.
මාතු සූත්‍රය
333. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය තියුණු ය රළු ය. අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ මව හේතු කොට ගෙණ ද දැන දැන මුසා නො බණන්නේ ය”යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසුකලෙක ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇති, දැන දැන මුසා බණන ඔහු දකිමි.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: “උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා අපගේ සිත සිඳ ගෙණ නො ම සිටිනේ ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 4. 8-13.
පිතුසූත්‍රාදිෂට්කය
334-339 සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය, තියුණු ය, රළු ය, අනුත්තර අර්‍හත්ත්‍වාවබෝධයට අන්තරායකර ය. මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලකු “මේ ආයුෂ්මත් තෙමේ
පියා හේතු කොට ද (අට වැන්න)
බෑයා හේතු කොට ද ... (නවවැන්න)
බුහුන හේතු කොට ද ... (දසවැන්න)
පුතා හේතු කොට ද ... (එකොළොස්වැන්න)
දුව හේතු කොට ද ... දොළොස්වැන්න)