5. 4. 1.
සඞ්ඝභේද සූත්‍රය
327. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මැඩුණු ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇති දෙව්දත් තෙමේ සඞ්ඝයා බින්දේ ය. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 2.
කුසලමූලසමුච්ඡේද සූත්‍රය
428. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ කුසල්මුල් සහමුලින් සිඳීමට ගියේ ය. මහණෙනි, ලාභ-සත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 3.
කුසලධම්මසමුච්ඡේද සූත්‍රය
429. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙන් මැඬුනු ගන්නා ලදසිත් ඇති දෙව්දත්ගේ කුසල්දහම් සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභසත්කාරකීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 4.
සුක්කධම්මසමුච්ඡේද සූත්‍රය
430. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් මඬනා ලද නිශ්ශේෂයෙන් ගන්නා ලද සිත් ඇති දෙව්දත්ගේ ශෝභන ධර්‍මය සහමුලින් ඡේදයට ගියේ ය. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන්ලාභසත්කාරකීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් හික්මිය යුතු මැ යි.
5. 4. 5.
අත්තවධ සූත්‍රය
331. භාග්‍යවතුන් වහන්සේ එක්සමයෙක දෙව්දත් බැහැර ගිය නොබෝ කල්හි රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් ඇරබ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, තමාගේ ම විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. පිරිහීම පිණිස දෙව්දත්හට ලාභසත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, යම්සේ කෙසෙල්ගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, යම් සේ හුණගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, යම් සේ බටගස තමන් නැසීම පිණිස පල දේ ද, විනාශය පිණිස පල දේ ද, මහණෙ, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, යම් සේ අශ්වතරිය (වෙළඹකුස කොටළුවකුට දාව උපන්නී) තමන් නැසීම පිණිස ගැබ් ගණී ද, විනාශය පිණිස ගැප් ගණී ද, මහණෙනි, එසෙයින් ම තමන් නැසීම පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය. විනාශය පිණිස දෙව්දත්හට ලාභ සත්කාර කීර්තිප්‍රශංසා පහළ විය.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා වැළි මෙය ද වදාළ සේක:
ඵලය ඒකාන්තයෙන් කෙසෙල්ගස නසයි. ඵලය හුණගස (නසයි). ඵලය බටගස (නසයි). ගැබ අශ්වතරිය (නසයි). එමෙන් සත්කාරය නින්‍දිතපුරුෂයා නස යි.
5. 4. 6.
පඤ්චරථසත සූත්‍රය
332. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. මුළුබත් පන්සියක්වූ බත ද එළවනු ලැබේ. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය සවස දෙව්දත්හට උවටැනට යෙයි. තලි පන්සියක බත ද එළවනු ලැබේ” යි.
මහණෙනි, දෙව්දත්ගේ ලාභ සත්කාර කීර්තිප්‍රශංසා කැමති නො වවු. මහණෙනි, යම් තාක් අජාසත් කුමර තෙමේ රිය පන්සියකින් උදය හවස දෙව්දත්හට උවටැනට යන්නේ ද, තලි පන්සියක බතත් එළවනු ලබන්නේ ද, මහණෙනි, (ඒතාක්) දෙව්දත්ගේ කුසල් දහම්හි පිරිහීම ම කැමති විය යුතු යි. වැඩීම නො කැමති විය යුතු යි.