5. 3. 3.
ඒකපුත්ත සූත්‍රය
319. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, සැදැහැති (සෝවන්) උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක් පුතකු මැනැවින් යදින්නී “පුත චිත්ත ගැහැවි තෙමේත් හත්‍ථක ආළවක තෙමේත් යම් බඳු නම් එබඳු වෙව”යි මෙසේ යදින්නී ය.
මහණෙනි, යම් ඒ චිත්ත ගැහැවිත් හත්‍ථක ආළවකත් වෙත් නම් මා සවු උවසුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.
“දරුව, ඉදින් තෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, දරුව, සැරියුත් - මුගලන් දෙනම යම් බඳු ද එබඳු වෙව” යි.
මහණෙනි, යම් මේ සැරියුත් - මුගලන් දෙනම වෙත් නම්, මා සවු මහණුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.
“දරුව, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තා කරා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නො පැමිණේ වා”.
මහණෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති ඒ මහණහු කරා ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඔහුට අන්තරාය පිණිස වෙයි.
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දුරුකරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 4.
ඒකධීතු සූත්‍රය
320. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, සැදැහැති සෝවන් උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක ම දුවක් මැනැවින් අයදිනී “දියෙනියෙනි, ඛුජ්ජුත්තරා උවැසියත් වේළුකණ්ටකියා නන්‍ද මාතාවත් යම්බඳු නම් එබඳු වෙව”යි මෙසේ අයදිනී ය.
මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවත් වේළුකණ්ටකියා නන්‍ද මාතාවත් වෙත් නම්, මා සවු උවැසියන්ට මෝ තුලාව ය. මේ පමණ ය.
“දියනියෙනි, ඉදින් තී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් යම්බඳු ද එබඳු වෙව” යි.
මහණෙනි, යම් මේ ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් වෙද්ද, මා සවු මෙහෙණනට මෝ තුලාව ය. මේ පමණ ය.
“දියනියෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තී කරා ලාභ සත්කාර කීර්තිප්‍රශංසා නො පැමිණේවා”.
මහණෙනි, ශෛක්‍ෂ වූ නො පැමිණි රහත්බැව් ඇති ඒ මෙහෙණ කරා ලාභසත්කාර කීර්ති ප්‍රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඇයට අන්තරාය පිණිස වෙයි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
5. 3. 5.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
321. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණෝ ය යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණබැව්හි ඵලය හෝ බමුණු බැව්හි ඵලය හෝ දිටුදැමියෙහි ම තුමූ වෙසෙස් නැණින් දැන පසක් කොට සපයා නො ම වෙසෙති.