5. 3. 4.
ඒකධීතු සූත්රය
320. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්රශංසා දරුණු ය ...
මහණෙනි, සැදැහැති සෝවන් උපාසිකාවක් ප්රිය මනාප වූ එක ම දුවක් මැනැවින් අයදිනී “දියෙනියෙනි, ඛුජ්ජුත්තරා උවැසියත් වේළුකණ්ටකියා නන්ද මාතාවත් යම්බඳු නම් එබඳු වෙව”යි මෙසේ අයදිනී ය.
මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවත් වේළුකණ්ටකියා නන්ද මාතාවත් වෙත් නම්, මා සවු උවැසියන්ට මෝ තුලාව ය. මේ පමණ ය.
“දියනියෙනි, ඉදින් තී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් යම්බඳු ද එබඳු වෙව” යි.
මහණෙනි, යම් මේ ඛේමා මෙහෙණත් උප්පලවණ්ණාත් වෙද්ද, මා සවු මෙහෙණනට මෝ තුලාව ය. මේ පමණ ය.
“දියනියෙනි, ශෛක්ෂ වූ නො පැමිණි රහත් බැව් ඇති තී කරා ලාභ සත්කාර කීර්තිප්රශංසා නො පැමිණේවා”.
මහණෙනි, ශෛක්ෂ වූ නො පැමිණි රහත්බැව් ඇති ඒ මෙහෙණ කරා ලාභසත්කාර කීර්ති ප්රශංසා ඉදින් පැමිණේ නම්, ඒ ඇයට අන්තරාය පිණිස වෙයි.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා දුරුකරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
5. 3. 5.
සමණබ්රාහ්මණ සූත්රය
321. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණෝ ය යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණබැව්හි ඵලය හෝ බමුණු බැව්හි ඵලය හෝ දිටුදැමියෙහි ම තුමූ වෙසෙස් නැණින් දැන පසක් කොට සපයා නො ම වෙසෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාරකීර්ති ප්රශංසාවන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනිද් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණෝ ය යි සම්මත වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මත වෙති. ඒ ඇවත්හු ද ශ්රමණ ඵලය ද බ්රාහ්මණ ඵලය ද දිටුදැමියෙහි ම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එළඹ වෙසෙති යි.
5. 3. 6.
දුතිය සමණබ්රාහ්මණ සූත්රය
322. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්රශංසාවන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතු සේ නො දනිද්ද ... ඒ ආයුෂ්මත්හු ශ්රමණ ඵලයත් බ්රාහ්මණ ඵලයත් දිටුදැමියෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ නො ම වෙසෙති.
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර කීර්ති ප්රශංසාවන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතු සේ දනිද්ද, ... ඒ ආයුෂ්මත්හු ශ්රමණ ඵලයත් බ්රාහ්මණ ඵලයත් දිටුදැමියෙහි තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණ වෙසෙති යි.
5. 3. 7.
තතිය සමණබ්රාහ්මණ සූත්රය
323. සැවැත්නුවර–
මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ලාභසත්කාර සිලෝක නො දනිත් ද, ලාභසත්කාර සිලෝක සමුදය නො දනිත් ද, ලාභ සක්කාර සිලෝක නිරෝධය නො දනිත් ද, ලාභ සක්කාර සිලෝක නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, ... යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ … දනිද් ද ... ඒ ආවත්හු මහණදම්හි ඵලයත් බමුණුදම්හි ඵලයත් දිටුදැමියෙහි ම විශිෂ්ටඥානයෙන් තුමූ දැන පසක් කොට එළඹ වෙසෙති යි.
5. 3. 8.
ඡවි සූත්රය
324. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා දරුණු ය. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්රශංසා සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇටමිදුලු හැනගෙණ සිටියි.
මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.