5. 2. 3-10.
සුවණ්ණනික්ඛ සුත්‍රාදි අෂ්ටකය සූත්‍රය
309-316. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. …
මහණෙනි, මෙහි මම ඇතැම් පුඟුලෙකු “මේ ආයුෂ්මත් තෙමේ
රන්නිකක් හේතු කොට ද ... (තෙවැන්න)
රන්නික සියක් හේතු කොට ද ... (සිවුවැන්න)
සිඟුරන්නිකක් හේතු කොට ද ... (පස්වැන්න)
සිඟුරන්නික සියක් හේතු කොට ද ... (සවැන්න)
රනින් පිරුණු පොළොව හේතු කොට ද ... (සත්වැන්න)
කිසියම් ආමිසයක් හේතු කොට ද ... (අටවැන්න)
ජීවිතය හේතු කොට ද ... (නවවැන්න)
ජනපද කල්‍යාණිය හේතු කොට ද,, දැන දැන මුසා නො ම බණන්නේ ය යි මෙසේ සිතින් සිත පිරිසිඳ දනිමි. පසු කලෙක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද ගන්නා ලද සිත් ඇතිව දැන දැන මුසා බණන ඒ මොහු දකිමි.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි. (දසවැන්න)
පාතිවර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
පාති සූත්‍ර දෙක ය, සුවණ්ණ සූත්‍ර දෙක ය, අනෙක් සිඞ්ගී නමින් සූත්‍ර දෙකක, පඨවි, කිඤ්චික්ඛ, ජීවිත, ජනපදකල්‍යාණි සූත්‍ර ය යි සූත්‍ර දශයෙකි.
3. මාතු වර්‍ගය
5. 3. 1.
මාතුගාම සූත්‍රය
317. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය. ...
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යමකුගේ සිත (යම්සේ) ක්‍ෂය කොට සිටී ද, එකලා වූ මාගමක් එකලා වූ ඔහුගේ සිත (ඒ ධර්‍මයෙන් ද) එසේ ක්‍ෂය කොට නො සිටී.
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය. ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 2.
ජනපද කල්‍යාණී සූත්‍රය
318. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. ...
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්‍රශංසා යමකුගේ සිත යම්සේ ක්‍ෂයකොට ගෙණ සිටී ද, එකලා වූ ඔහුගේ සිත එකලා වූ ද ජනපද කල්‍යාණී (ජනපදයෙහි රූසපුවෙන් උතුම් ස්ත්‍රී) තොමෝ එසේ ක්‍ෂය කොට ගෙණ නො සිටී.
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්තිප්‍රශංසා දුරු කරන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 3. 3.
ඒකපුත්ත සූත්‍රය
319. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, සැදැහැති (සෝවන්) උපාසිකාවක් ප්‍රිය මනාප වූ එක් පුතකු මැනැවින් යදින්නී “පුත චිත්ත ගැහැවි තෙමේත් හත්‍ථක ආළවක තෙමේත් යම් බඳු නම් එබඳු වෙව”යි මෙසේ යදින්නී ය.
මහණෙනි, යම් ඒ චිත්ත ගැහැවිත් හත්‍ථක ආළවකත් වෙත් නම් මා සවු උවසුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.
“දරුව, ඉදින් තෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙහි නම්, දරුව, සැරියුත් - මුගලන් දෙනම යම් බඳු ද එබඳු වෙව” යි.
මහණෙනි, යම් මේ සැරියුත් - මුගලන් දෙනම වෙත් නම්, මා සවු මහණුන්ට මෝ තුලාව ය. මේ ප්‍රමාණ ය.