5. 1. 7.
දිද්ධවිසල්ල සූත්‍රය
303. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, විසපී විස වැකි හුලෙකින් කවරකුට විදිය හේ ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්‍ෂයාට ය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හුල” යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභසත්කාර කීර්ති ප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 8.
සිගාල සූත්‍රය
304. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, තෙපි රෑ පැසුළු යම හඬන ජරසිවලකුගේ හඬ ඇසූහු ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ ජරසිවලා උක්කණ්ටක නම් රෝග ජාතියෙන් පහස්නා ලද්දේ බිලයට ගියේ නො ම ඇලෙයි. රුක්මුලට ගියේ නො ම ඇලෙයි. අබවසට ගියේ නො ම ඇලෙයි. යම් යම් තැනෙක යේ ද, යම් යම් තැනෙක සිටී ද, යම් යම් තැනෙක හිඳී ද, යම් යම් තැනෙක හොවී ද, ඒ ඒ තැන්හි දුකට පීඩාවට පැමිණෙයි.
මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්තිප්‍රශංසායෙන් මඩනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ ශූන්‍යාගාරයට ගියේ නො ම ඇලෙයි. රුක්මුලට ගියේ නො ම ඇලෙයි. අබවසට ගියේ නො ම ඇලෙයි. යම් යම් තැනෙක යේ ද, යම් යම් තැනෙක සිටී ද, යම් යම් තැනෙක හිඳී ද, යම් යම් තැනෙක හොවී ද, ඒ ඒ තැන්හි දුකට පීඩාවට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 9.
වේරම්බ සූත්‍රය
305. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්‍රශංසා දරුණු ය ...
මහණෙනි, මතු අහසෙහි වේරම්බ නම් වාතයෝ හමත්. එහි යම් පක්‍ෂි (වාලිහිණි)යෙක් යේ නම් ඒ මූ වේරම්බ වාතයෝ දමාපියත්. වේරම්බ වාතයෙන් දමා ලූ උගේ පාදයෝ අන් දෙසකට යෙත්. පියාපත් අන් දෙසකට යේ. හිස අන් දෙසකට යේ. කය අන්දෙසකට යේ.
මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් මඩනා ලද්දේ ක්‍ෂය කොට ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ නොරක්නා ලද කයින් යුතු ව ම නොරක්නා ලද වචනයෙන් යුතුව ම නොරක්නා ලද සිතින් යුතුව ම නො රක්නා ලද සිහියෙන් යුතු ව ම සංවරණය නො කළ ඉඳුරන්ගෙන් යුතු ව ම ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේද, හෙතෙමේ එහි දී නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගමක දකී ද, නපුරු කොට හැන්දා වූ හෝ නපුරු කොට පෙර වූ හෝ මාගම දැකීමෙන් ඔහුගේ සිත රාගය තෙමේ වනසයි. හෙතෙමේ රාගයෙන් වනසන ලද සිතින් සිකපද පිළිකෙව් කොට ගිහි බවට පෙරළෙයි. අන්නු ඔහුගේ සිවුර හැර ගණිත්. අන්නු පාත්‍රය හැර ගණිත්, අන්නු නිසීදනය හැර ගණිත්. අන්නු හිදිගුලාව හැර ගණිත්. වේරම්බ වාතයෙන් බැහැර ලූ පක්‍ෂියාගේ (අවයව) මෙනි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්‍රශංසා මෙසේ දරුණු යි ... උපන් ලාභ සත්කාරකීර්තිප්‍රශංසා බැහැර ලන්නෙමු ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.