5. 1. 4.
දීඝලෝමි ඵලක සූත්රය
300. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය. ...
මහණෙනි, යම් සේ දික් ලොම් ඇති එළුදෙනක් කටුලැහැබකට පිවිසියා ද, ඕ ඒ ඒ තන්හි ඇලෙන්නී ය. ඒ ඒ තන්හි ගැණෙන්නී ය, ඒ ඒ තන්හි බැඳෙන්නී ය. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙන්නී ය. මහණෙනි, එසෙයින් ම මෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්රශංසායෙන් මඬනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස පිවිසේ ද, හෙතෙමේ ඒ ඒ තන්හි ඇලෙයි, ඒ ඒ තන්හි ගැණෙයි, ඒ ඒ තන්හි බැඳෙයි. ඒ ඒ තන්හි දුකට විපතට පැමිණෙයි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභ සත්කාර කීර්තිප්රශංසා බැහැර ලමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 5.
මීළ්හක සූත්රය
301 සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්තිප්රශංසා දරුණු ය. ...
මහණෙනි, යම්සේ වර්චස් බුදින වර්චස් භරිත වර්චසින් පිරුණු මීළ්හක (වර්චස් බුදිනා) පණුවෙක් වේ ද, ඉදිරියෙහිත් මහා වර්චස් පිඩෙක් වන්නේ ද, ඕ එයින් “මම් වූ කලි වර්චස් කන්නෙම් වර්චස් භරිතයෙම් වර්චසින් පිරුණෙම් වෙමි. මා ඉදිරියෙහිත් මේ අශූචිපිඩෙක් වේ ය”යි අන් මීළ්හකාවන් ඉක්මවා සිතයි.
මහණෙනි, එසෙයින් ම ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්තිප්රශංසායෙන් මඩනා ලද්දේ හාත්පසින් පැහැරගන්නා ලද හිත් ඇත්තේ පෙරවරු හැඳ පොරොවා පාසිවුරු ගෙණ ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසේ. හෙතෙමේ එහි දී ඇති තාක් වළඳුයේත් සෙට පිණිස පවරණ ලද්දේත් වෙයි. පිණ්ඩපාතය ද පිරුණේ වන්නේ ය. හෙතෙම අරමට ගොස් මහණගණා මැද “මම ඇති තාක් වැළඳුයෙම් ද වෙමි. සෙට පිණිස පවරණ ලද්දෙම් ද වෙමි. මාගේ මේ පිණ්ඩපාතය ද පිරුණේ ය. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෙම් ද වෙමි. මේ අන් මහණහු මඳ පිණැත්තහ, අල්පේශාක්යයහ. සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලහ”යි තමා වණයි. හෙ තෙමේ ඒ ලාබ සත්කාර කීර්ති ප්රශංසායෙන් මඩනා ලද්දේ ගන්නා ලද සිත් ඇත්තේ අනෙක් ප්රියශීල භික්ෂූන් ඉක්මවා සිතයි. මහණෙනි, එය ඒ හිස්පුරුෂයාහට දිඟුකලක් අහිත පිණිස දුක් පිණිස වේ. මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභ සත්කාර කීර්ති ප්රශංසා බැහැරලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු ම යි.
5. 1. 6.
අසනිවක්ක සූත්රය
302. සැවැත්නුවර–
මහණෙනි, ලාභසත්කාර කීර්ති ප්රශංසා දරුණු ය, ...
මහණෙනි, හෙනසක කවරකු කරා පැමිණිය හෙයි ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්ෂයා වෙත ය. ලාභසත්කාර කීර්තිප්රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හෙනසක” යනු ලාභසත්කාර කීර්තිප්රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභසත්කාර කීර්තිප්රශංසා මෙසේ දරුණු ය ... උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
5. 1. 7.
දිද්ධවිසල්ල සූත්රය
303. සැවැත්නුවර–
මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණු ය ...
මහණෙනි, විසපී විස වැකි හුලෙකින් කවරකුට විදිය හේ ද? නො පැමිණි රහත්බැව් ඇති ශෛක්ෂයාට ය. ලාභ සත්කාර කීර්ති ප්රශංසා (ඔහු කරා) පැමිණිය හෙයි. මහණෙනි, “හුල” යනු ලාභ සත්කාර කීර්ති ප්රශංසාවනට මේ නමෙකි. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා මෙසේ දරුණු ය, ... උපන් ලාභසත්කාර කීර්ති ප්රශංසා බැහැර ලන්නෙමු. ... මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.