3. 2. 10.
වේපුල්ලපබ්බත සූත්‍රය
283. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, මෙසසර නො පිරුසුන් අග ඇත්තේ ය අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්ත්‍වයින්ගේ පුර්‍වකෝටිය නො පැණේ.
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට පාචීනවංස ම ය යි නම් විය මහණෙනි, එකල්හි මිනිසුන්ට තිවර යන නාමය විය. මහණෙනි, තිවර මිනිසුන්ට සතලිස්වස්දහසෙක් ආයුඃප්‍රමාණය විය. මහණෙනි, තිවර මිනිසුන්ට පාචීනවංස පර්‍වතයට සිවු දිනකින් නගිත්, සිවු දිනකින් බසිත්.
එකල්හි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යතුන් වහන්සේ ලොව පහළ වූ සේක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවතුන් වහන්සේට උතුම් සොඳුරු යුවලක් වූ විධුර, සඤ්ජීව නම් සවු යුවලෙක් විය. මහණෙනි, බලවු: මේ පර්‍වතයේ ඒ නාමය ද අතුරුදන් විය ඒ මිනිස්සු ද කලුරිය කළහ . ඒ භාග්‍යවතුන් වහන්සේද පිරිණිවුනහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අදධුවයහ. මෙසේ සංස්කාරයෝ අනස්සාසික (=අස්වැසිලි රහිත) ය හ. මහණෙනි, මෙයිනුදු සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසිම ය. නො ඇලෙන්නට නිසි ම ය . මිදෙන්නට නිසි මැ යි .
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට වඞ්කක යන නාමය ම වි ය . මහණෙනි, එකල්හි මිනිසුන්ට රෝහිතස්ස යන නාමය ම විය. මහණෙනි, රෝහිතස්ස මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය තිස්වස්දහසෙක් විය. මහණෙනි, රෝහිතස්ස මිනිස්සු වඞ්කක පර්‍වතයට තෙදිනකින් නගිත්. තෙදිනකින් බසිත්.
මහණෙනි , එකල්හි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සේක. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයක් වූ භිය්‍යො, සුත්තර නම් සවු යුගයෙක් වීය මහණෙනි, බලවු: මේ පර්‍වතයාගේ ඒ නාමයත් අතුරුදන් විය ඒ මිනිස්සුත් කලුරිය කළහ ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.
මහණෙනි, පෙර වූවක් කියමි: මේ වේපුල්ල පර්‍වතයට සුඵස්ස යන නාමය ම විය. මහණෙනි, එකල්හි මිනිසුන්ට සුප්පිය යන නාමය විය. මහණෙනි, සුප්පිය මිනිසුන්ගේ ආයුඃප්‍රමාණය විසිවස්දහසෙක් සේක් විය. මහණෙනි, සුප්පිය මිනිස්සු සුඵස්ස පර්‍වතයට දෙදිනකින් නගිත්, දෙදිනකින් බසිත්.
මහණෙනි, එසමයෙහි අර්‍හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ ලෝකයෙහි පහළ වූ සේක. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට අග්‍රභද්‍ර යුගයෙක් වූ තිස්ස, භාරද්වාජ නම් ශ්‍රාවක යුගයෙක් විය මහණෙනි, බලවු: මේ පර්‍වතයාගේ ඒ නමත් අතුරුදන් විය. ඒ මිනිස්සුත් කලුරිය කළහ. ඒ භාග්‍යවතුන් වහන්සේත් පිරිනිවියහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිසහ … මිදෙන්නට නිසි මැ යි.