3. 1. 7.
සාවක සූත්‍රය
270. සැවැත්නුවර–
එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ … එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ද, ඉක්මුනා ද”
මහණෙනි, අතීත වූ කල්පයෝ බොහෝ ය. මෙතෙක් කපැ යි හෝ මෙතෙක් කප් සියෙකැ යි හෝ මෙතෙක් කප්දහසැ යි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ එය ගිණුමට සුකර නො වෙයි වහන්ස, උපමාවක් කරනට හැකි දැයි? මහාණෙනි, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණෙනි, මෙහි සියවස් ආයු ඇති සියවස් ජීවත් වන සුලු සව්වෝ සිවුදෙනෙක් වෙත් නම්, ඔහුත් දිනපතා කප් සියදහසක් කප් සියදහසක් සිහි කෙරෙත් නම්, මහණෙනි, ඔවුන් විසින් කල්පයෝ සිහි නො කළහු ම වෙත්. වැලි දු සියවස් ආයු ඇති සියවස් ජීවත්වන සුලු ඒ සිවුසව්වෝ සියවස් සියවස්හුගේ ඇවෑමෙන් කලුරිය කරන්නාහු ය.
මහණෙනි, මෙසේ ගෙවී ගියා වූ ඉක්ම ගියා වූ කල්පයෝ බොහෝ ය. ඔහු මෙතෙක් කපැ යි හෝ, මෙතෙක් කප් සියෙකැයි හෝ, මෙතෙක් කප් දහසැයි හෝ, මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර අපරිමාණ ය … එයින් මිදෙන්නට නිසි මැ යි.
3. 1. 8.
ගඞ්ගා සූත්‍රය
271. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේ ය ... එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයෙනි, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්මුනාහු දැ? යි.
බමුණ, බොහෝ කල්පයෝ ගත වූහ. ඉක්මූනාහු ය. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ ගිණීමට සුකර නො වෙති. භවත් ගෞතමයෙනි, උපමාවක් කරන්නට හැකි දැ යි? බමුණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. බමුණ, යම් සේ මේ ගඞ්ගා නදිය යම් තැනෙකින් හට ගණී ද, යම් තැනෙක මහසමුදුරට පිවිසේ ද, මේ අතර යම් වැල්ලෙක් වේ ද, එය මෙතෙක් වැලි ය යි හෝ මෙතෙක් වැලි සියකැ යි හෝ මෙතෙක් වැලි දහසැයි හෝ මෙතෙක් වැලි සියදහසැයි හෝ ගිණීමට සුකර නො වේ.
බමුණ, එයට වැඩි ඉතා බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්ම ගියහ. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙති. ඒ කවර හෙයින යත්: බමුණ, මෙසසර අනාදිමත්ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
මෙසේ වදාළ කල්හි ඒ බමුණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි, භවත් ගෞතමයෙනි, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි.
3. 1. 9.
දණ්ඩ සූත්‍රය
272. සැවැත්නුවර–
මහණෙනි, මෙ සසර නො දත් අග ඇතියේ වෙයි. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍ව කෙළවර නො පෙණේ. මහණෙනි, යම් සේ උඩ අහසෙහි දැමූ දඬෙක් වරක් මුලිනුදු වැටෙයි. වරක් මැදිනුදු වැටෙයි. වරක් අගිනුදු වැටෙයි. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (ඒ මේ අත) දිවෙන සැරිසරණ සත්‍වයෝ වරක් මෙලොවින් පරලොවට යෙති. වරක් පරලොවින් මෙලොවට එති. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග්මුල් ඇත්තේ ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.