3. 1. 8.
ගඞ්ගා සූත්‍රය
271. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළබියේ ය ... එකත්පසෙක හුන් ඒ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයෙනි, කෙතෙක් බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්මුනාහු දැ? යි.
බමුණ, බොහෝ කල්පයෝ ගත වූහ. ඉක්මූනාහු ය. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැ යි හෝ ගිණීමට සුකර නො වෙති. භවත් ගෞතමයෙනි, උපමාවක් කරන්නට හැකි දැ යි? බමුණ, හැකි ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. බමුණ, යම් සේ මේ ගඞ්ගා නදිය යම් තැනෙකින් හට ගණී ද, යම් තැනෙක මහසමුදුරට පිවිසේ ද, මේ අතර යම් වැල්ලෙක් වේ ද, එය මෙතෙක් වැලි ය යි හෝ මෙතෙක් වැලි සියකැ යි හෝ මෙතෙක් වැලි දහසැයි හෝ මෙතෙක් වැලි සියදහසැයි හෝ ගිණීමට සුකර නො වේ.
බමුණ, එයට වැඩි ඉතා බොහෝ කල්පයෝ ගත වූවාහු ඉක්ම ගියහ. ඔහු මෙතෙක් කපැයි හෝ මෙතෙක් කප් සියකැයි හෝ මෙතෙක් කප් දහසැයි හෝ මෙතෙක් කප් සියදහසැයි හෝ ගිණීමට සුකර නො වෙති. ඒ කවර හෙයින යත්: බමුණ, මෙසසර අනාදිමත්ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
මෙසේ වදාළ කල්හි ඒ බමුණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: “භවත් ගෞතමයෙනි, ඉතා මැනවි, භවත් ගෞතමයෙනි, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා” යි.
3. 1. 9.
දණ්ඩ සූත්‍රය
272. සැවැත්නුවර–
මහණෙනි, මෙ සසර නො දත් අග ඇතියේ වෙයි. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘෂ්ණාවෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍ව කෙළවර නො පෙණේ. මහණෙනි, යම් සේ උඩ අහසෙහි දැමූ දඬෙක් වරක් මුලිනුදු වැටෙයි. වරක් මැදිනුදු වැටෙයි. වරක් අගිනුදු වැටෙයි. මහණෙනි, එසෙයින් ම අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (ඒ මේ අත) දිවෙන සැරිසරණ සත්‍වයෝ වරක් මෙලොවින් පරලොවට යෙති. වරක් පරලොවින් මෙලොවට එති. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො පිරිසුන් අග්මුල් ඇත්තේ ය ... එයින් මිදෙන්නට නිසි මැ යි.
3. 1. 10.
ඒකපුග්ගල සූත්‍රය
273. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එහි දි … මෙය වදාළ සේක.
මහණෙනි, මෙසසර නැවත නැවත බලයි දු නොපිරිසුන් කෙළවර ඇතියේ යි. මහණෙනි, කපක් මුළුල්ලේ දිවෙන සැරිසරණ එක් පුඟුලකුගේ ඇටසැකිල්ල ඇටගොඩ ඇටරැස ඉදින් රැස් කරන්නෙක් වන්නේ නම්, රැස් කරණ ලදුයේත් නො වැනසේ නම්, මේ වේපුල්ල පර්‍වතය යම් සේ ද, එසේ මහත් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙසසර නො දන්නා ලද කෙළවර ඇතියේ ය. … එයින් මිදෙන්නට නිසි මැ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යලි මතුදු මෙය වදාළ සේක:
එක් කපෙකින් එක් පුඟුලකුගේ ඇට රැස (වේපුල්ල) පර්‍වතය බඳු රැසෙක් වන්නේ ය යි මහර්ෂි වූ බුදුරජානන් වහන්සේ විසින් වදාරණ ලදි.
ඒ මේ මහත් වේපුල්ල පර්‍වතය මගධජනපදයෙහි ගිරිව්‍රජයෙහි (පර්‍වත පරික්‍ෂේපයෙහි) ගිජුකුළු පව්වට උතූරුදික්හි (පිහිටියේ) ය යි කියන ලදී.
යම් කලෙක දුක, දුක හට ගැණීම, දුක ඉක්මීම, දුක ඉක්මීමට යන අරිඅටගිමග යන ආර්‍ය්‍ය සත්‍යයන් මනා නුවණින් දකී ද,
ඒ (සෝවන්) පුද්ගල තෙමේ සත්වරක් පරම කොට සැරිසරා සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් දුක් කෙළවර කරන්නෙක් වේ යි.
තිණකට්ඨවර්‍ගය පළමුවැ නි යි.
එහි උද්දානය:
තිණකට්ඨ, පඨවි, අස්සු, බීර, පබ්බත, සාසප, සාවක, ගඞ්ගා, දණ්ඩ, පුග්ගල ය යි සූත්‍ර දශයෙකි යි.