2. 4. 3.
අස්සාදපරියේසන සූත්‍රය
256. සැවැත්නුවර–
මහණෙනි, මම පඨවීධාතුවෙහි ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම් එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි ආදිනවපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි නිස්සරණපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මම ආපෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම තේජෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආදීනවය පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කළෙමි. වායෝධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි නොම පිළිණ කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත්, තතු සේ අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළිණ කෙළෙමි. “මාගේ අර්‍හත්ඵලවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනයද මට පහළ වීය.
2. 4. 4.
නෝචේදං සූත්‍රය
257. සැවැත්නුවර–
මහණෙනි, ඉදින් මේ පඨවීධාතුයෙහි ආස්වාදයෙක් නො වී නම් සත්‍වයෝ පඨවීධාතුවෙහි නො ඇලෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙහි ඇලෙත්. මහණෙනි, ඉදින් මේ පඨවීධාතුවෙහි ආදීනවයෙක් නො වී නම් සත්‍වයෝ පඨවීධාතුවෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් පඨවීධාතුවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙහි කළකිරෙත්. මහණෙනි, ඉදින් පඨවීධාතුවෙන් නිස්සරණයෙක් නො වී නම්, සත්‍වයෝ පඨවීධාතුයෙන් නො නික්මෙන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් පඨවීධාතුවෙන් නික්මීමෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ පඨවීධාතුයෙන් නික්මෙති.
මහණෙනි, ඉදින් මේ ආපෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම් ... නික්මෙති. මහණෙනි, ඉදින් මේ තේජෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම් ... නික්මෙති. මහණෙනි, ඉදින් මේ වායෝධාතුවෙහි ආස්වාදයෙක් නො වී නම්, සත්‍වයෝ වායෝධාතුවෙහි නො ඇලෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුයෙහි ආස්වාදයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ, වායෝධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් වායෝධාතුවෙහි ආදීනවයෙක් නො වි නම්, සත්‍වයෝ වායෝධාතුවෙහි නො කළකිරෙන්නාහු ය. මහණෙනි, යම් හෙයෙකින් වායෝධාතුවෙහි ආදීනවයෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙහි කළකිරෙති. මහණෙනි, ඉදින් වායෝධාතුවෙන් නිස්සරණයෙක් නො වී නම්, සත්‍වයෝ වායෝධාතුයෙන් නො නික්මෙන්නාහු ය. මහණෙනි, යම් හෙයකින් වායෝධාතුවෙන් නික්මීමෙක් ඇද්ද, එහෙයින් සත්‍වයෝ වායෝධාතුවෙන් නික්මෙති.