2. 4. 10.
තෙවන සමණබ්‍රාහ්මණ සූත්‍රය
263. සැවැත්නුවර–
මහණෙනි, යම් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පඨවීධාතුව නො දනිද්ද, පඨවීධාතු සමුදය නො දනිද්ද, පඨවීධාතු නිරෝධය නො දනිද්ද, පඨවීධාතු නිරෝධගාමිනී පටිපදාව නො දනිද්ද ... ආපෝධාතුව නො දනිද්ද ... තේජෝධාතුව නො දනිද්ද … වායෝධාතුව නො දනිද්ද, වායෝධාතුසමුදය නො දනිද්ද, වායෝධාතුනිරෝධය නො දනිද්ද, වායෝධාතු නිරොධගාමිනී පටිපදාව නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණහු හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණහ යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ භාවාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණභාවාර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තුමූ දැන පසක් කොට (එයට) පැමිණ නො ද වෙසෙති.
මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පඨවීධාතුව දනිද්ද, පඨවීධාතුසමුදය දනිද්ද, පඨවීධාතුනිරෝධය දනිද්ද, පඨවීධාතුනිරෝධගාමිනීපටිපදාව දනිද්ද ... ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝධාතුව දනිද්ද, වායෝධාතුසමුදය දනිද්ද, වායෝධාතුනිරෝධය දනිද්ද, වායෝධාතුනිරෝධගාමිනීපටිපදාව දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණහු හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මත වෙති. බමුණන් කෙරෙහිත් බමුණහ යි සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණ භාවාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණභාවාර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තුමූ දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
චතුධාතු වර්‍ගය සිවුවැනි යි.
එහි උද්දානය:
චතුධාතු, පුබ්බ, අස්සාද, නෝචේදං, දුක්ඛ, අභිනන්‍දන, උප්පාද යන සූත්‍ර හා සමානබ්‍රහ්මණ සූත්‍ර තුණ දැ යි සූත්‍ර දශයෙකි.
ධාතුසංයුත්තය නිමියේ ය.
3. අනමතග්ග සංයුත්තය
1. තිණකට්ඨ වර්‍ගය
3. 1. 1.
තිණකට්ඨ සූත්‍රය
264. සැවැත්නුවර -
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මේ සසර අනුව ගොසිනුදු නොපිරිසුන් අග ඇති. එහෙයින් අවිද්‍යානීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වකෝටිය (පූර්‍වාන්තය) නො පැණේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව යම් තාක් තණ දඬු අතු කොළ වේ නම්, එය සිඳ එක් රැස් කරන්නේ ද, එක් රැස් කොට සතරගුල් සතරගුල් කඩ කොට “මෝ මාගේ මව ය, මෝ මාගේ ඒ මවගේ මව ය” යි තබන්නේද, මහණෙනි, ඒ පුරුෂයාගේ මවගේ මවුහු නො පිරිසිඳුනාහු ම වන්නාහ. වැලි, මේ දඹදිව තණ දඬු අතු කොළ ක්‍ෂය වීමට අවසන් වීමට යන්නේය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සසර අනවරාග්‍ර (අපරාන්ත රහිත) ය. එහෙයින් අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු (එහි) දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ පූර්‍වාන්තය නො පෙණේ.
මහණෙනි, මෙසේ තොප විසින් දිඟුකලක් දුක්විඳින ලදී. තියුණු දුක් විඳින ලදී, (ඥාතිව්‍යසනාදි) ව්‍යසන විඳින ලදී. සොහොන නොහොත් පොළොව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කලකිරෙන්නට නිසි ම ය, නො ඇලෙන්නට නිසි ම ය, මිදෙන්නට නිසි මැ යි.
3. 1. 2.
පඨවී සූත්‍රය
265. සැවැත්නුවර–
මහණෙනි, මේ සසර අමතවූ - නොදත් අග් ඇතියේයි. අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ මුල නො පැණේ. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මේ මහපොළොව ඩෙබර ඇට පමණ ඩෙබර ඇට පමණ ගුළි කොට “මේ මගේ පියා ය, මේ මගේ ඒ පියාගේ පියා ය” යි තබන්නේ ද, මහණෙනි, ඒ පුරුෂයාගේ පියාගේ පියහු නො පිරිසිදින ලද්දාහු ම වන්නාහ වැලි, මේ මහපොළොව ගෙවීමට අවසන් වීමට යන්නේය. ඒ කුම් හෙයින? යත්: මහණෙනි, මේ සසර අවිදිත වූ අග ඇතියේ යි. අවිද්‍යා නීවරණයෙන් ඇවුරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුනු දිවෙන සැරිසරණ සත්‍වයන්ගේ මුල නො පෙණේ. (එහෙයිනි.)