2. 4. 1.
චතුධාතු සූත්‍රය
254. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක ...
මහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු යි. මහණෙනි, මේ ධාතු සතර යි.
2. 4. 2.
පුබ්බ සූත්‍රය
255. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්මාසම්බුද්ධ නො වූ බෝසත් වූ ම මට මේ අදහස විය. පඨවීධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? ආපෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? තෙජොධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? වායෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
මහණෙනි, ඒ මට මේ අදහස විය: පඨවීධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ පඨවීධාතුවේ ආස්වාදය යි. යම් හෙයෙකින් පඨවීධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන ස්වභාව ඇත්තේ ද, මේ පඨවීධාතුහුගේ ආදීනවය යි. පඨවීධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ පඨවීධාතුහුගේ නිස්සරණ ය යි. ආපෝධාතුව නිසා යම් ... තේජෝධාතුව නිසා යම් ... වායෝධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වායෝධාතුවෙහි ආස්වාදය යි. යම් හෙයකින් වායෝධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරලෙනසුලු ද, මේ වායෝධාතුවෙහි ආදීනවය යි. වායෝධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ වායෝධාතුවෙහි නිස්සරණය යි.
මහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි.
මහණෙනි, මම යම් කලෙක මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ කෙළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි පිළිණ කෙළෙමි. “මාගේ අර්‍හත් ඵලවිමුක්තිය අකෝප්‍ය ය (නිශ්චලය). මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ” යි ඥානදර්‍ශනය ද (=ප්ස්විකුම් නුවණද) මට පහළ වී ය.
2. 4. 3.
අස්සාදපරියේසන සූත්‍රය
256. සැවැත්නුවර–
මහණෙනි, මම පඨවීධාතුවෙහි ආස්වාදපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම් එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි ආදිනවපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම පඨවීධාතුවෙහි නිස්සරණපර්‍ය්‍යෙෂණය කෙළෙමි. පඨවීධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. පඨවීධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මම ආපෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම තේජෝධාතුවෙහි ... එය මා විසින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආස්වාද පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආස්වාදයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි ආස්වාදය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි ආදීනවය පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් ආදීනවයෙක් වේ නම්, එය අවබෝධ කළෙමි. වායෝධාතුවෙහි ආදීනවය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය. මහණෙනි, මම වායෝධාතුවෙහි නිස්සරණ පර්‍ය්‍යෙෂණය කෙළෙමි. වායෝධාතුවෙහි යම් නිස්සරණයෙක් වේ නම්, එය අවබෝධ කෙළෙමි. වායෝධාතුවෙහි නිස්සරණය යම් පමණ වේ නම්, එය මා විසින් නුවණින් මැනවින් දක්නා ලද්දේ ය.
මහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත්, ආදීනවය ආදීනව වශයෙනුත්, නිස්සරණය නිස්සරණ වශයෙනුත් තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි නොම පිළිණ කෙළෙමි.