2. 3. 7.
දසඞ්ගික සූත්‍රය
253. සැවැත්නුවර–
මහණෙනි, සත්‍වයෝ අදහස් වශයෙන් ම සැසැඳෙත්, එකතු වෙත්: මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තෝ මිත්‍ථ්‍යා දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්‍ථ්‍යා සඞ්කල්ප ඇත්තෝ … මිත්‍ථ්‍යා වචන ඇත්තෝ … මිත්‍ථ්‍යා කර්‍මාන්ත ඇත්තෝ … මිත්‍ථ්‍යා ආජීව ඇත්තෝ … මිත්‍ථ්‍යා ව්‍යායාම ඇත්තෝ … මිත්‍ථ්‍යා ස්මෘති ඇත්තෝ … මිත්‍ථ්‍යා සමාධි ඇත්තෝ … මිත්‍ථ්‍යා ඥාන ඇත්තෝ මිත්‍ථ්‍යා ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත් එකතු වෙත්. මිත්‍ථ්‍යා විමුක්ති ඇත්තෝ මිත්‍ථ්‍යා විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්.
සම්‍යග් දෘෂ්ටි ඇත්තෝ සම්‍යග් දෘෂ්ටි ඇත්තවුන් සමග සැසැඳෙත්. එකතු වෙත් … සම්‍යක් සඞ්කල්ප ඇත්තෝ … සම්‍යග් වචන ඇත්තෝ … සම්‍යක් කර්‍මාන්ත ඇත්තෝ … සම්‍යගාජීව ඇත්තෝ … සම්‍යග්ව්‍යායාම ඇත්තෝ … සම්‍යක් ස්මෘති ඇත්තෝ … සම්‍යක් සමාධි ඇත්තෝ … සම්‍යග් ඥාන ඇත්තෝ සම්‍යග් ඥාන ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙත්. සම්‍යග් විමුක්ති ඇත්තෝ සම්‍යග් විමුක්ති ඇත්තවුන් සමග සැසැඳෙත්, එකතු වෙති.
(සියලු තැන්හි අතීතානාගතපච්චුප්පන්න කළ යුතු යි.)
සූත්‍ර සත පිළිබඳ උද්දානය:
අසමාහිත, දුස්සීල, පඤ්චසික්ඛාද, සත්තකම්මපථ, දසකම්මපථ, අට්ඨඞ්ගික යන සූත්‍ර හා දසඞ්ගික සූත්‍රය දැ යි සූත්‍ර සතෙකි.
කම්මපථවර්‍ගය තුන්වැනි යි.
4. චතුධාතු වර්‍ගය
2. 4. 1.
චතුධාතු සූත්‍රය
254. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක ...
මහණෙනි, මේ ධාතු සතරෙකි. කවර සතරෙක යත්: පඨවීධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු යි. මහණෙනි, මේ ධාතු සතර යි.
2. 4. 2.
පුබ්බ සූත්‍රය
255. සැවැත්නුවර–
මහණෙනි, සම්බෝධියෙන් පෙර ම සම්මාසම්බුද්ධ නො වූ බෝසත් වූ ම මට මේ අදහස විය. පඨවීධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? ආපෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? තෙජොධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ ද? වායෝධාතුහුගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
මහණෙනි, ඒ මට මේ අදහස විය: පඨවීධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ පඨවීධාතුවේ ආස්වාදය යි. යම් හෙයෙකින් පඨවීධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන ස්වභාව ඇත්තේ ද, මේ පඨවීධාතුහුගේ ආදීනවය යි. පඨවීධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ පඨවීධාතුහුගේ නිස්සරණ ය යි. ආපෝධාතුව නිසා යම් ... තේජෝධාතුව නිසා යම් ... වායෝධාතුව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ වායෝධාතුවෙහි ආස්වාදය යි. යම් හෙයකින් වායෝධාතුව අනිත්‍ය ද, දුක් ද, පෙරලෙනසුලු ද, මේ වායෝධාතුවෙහි ආදීනවය යි. වායෝධාතුවෙහි දැඩිරාගය පිළිබඳ යම් දුරලීමෙක් වේ ද, දැඩිරාගය පිළිබඳ යම් ප්‍රහාණයෙක් වේ ද, මේ වායෝධාතුවෙහි නිස්සරණය යි.
මහණෙනි, මම යම්තාක් මේ චතුධාතූන්ගේ ආස්වාදය ආස්වාද වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණ වශයෙනුත් මෙසේ තතු සේ අවබෝධ නො කෙළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි අනුත්තර සම්මාසම්බෝධිය මැනවින් අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි.