1. 6. 9.
විඤ්ඤාණ සූත්‍රය
59. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහ රුකෙක් වේ ද, එහි යට බස්නා යම් මුලුත් වේ ද, ... [බොහෝ දිගුකලක් සිටුනේ ය].
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දකිමින් වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ බැසගැණීම නො වේ. විඤ්ඤාණයාගේ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් එන්නේ ය ... මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්‍මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුට විඤ්ඤාණයාගේ පහළවීම නො වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 10.
නිදාන [පටිච්චසමුප්පාද] සූත්‍රය
60. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාස්සදම්ම නම් කුරූන්ගේ නියම්ගම්හි වැඩවෙසෙන සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ වහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම දකිනු ද ලැබේ. එහෙත් මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ ය” යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
ආනන්‍ද, එසේ නොකිය, ආනන්‍ද එසේ නො කිය. ආනන්‍ද, මේ පටිච්චසමුප්පාදය ඉතා ගැඹුරු ය. ගැඹුරු වූයේ ම ගැඹුරුව පෙණේ. ආනන්‍ද, මේ දහම නො දැනීමෙන් අවබෝධ නො කිරීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ සත්ත්‍වයෝ අවුල් වූ නූල් පන්දක් මෙන් වූවාහු, පෙහෙරුන්ගේ කැඳෙහි නූල් ගුලාවක් හෝ කුරුළුකැදැල්ලක් මෙන් ව්‍යාකූල වූවාහු, මුදුතණ බබුස්තණ මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන සසර නො ඉක්මවත්.
ආනන්‍ද, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
ආනන්‍ද, යම්සේ මහරුකෙක් වේද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට ගමන් ගත් යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජස උඩට ගෙණ යේ. ආනන්‍ද, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ ඉතා දිගුකලක් සිටුනේ ය.
ආනන්‍ද, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වේ.
ආනන්‍ද, උපාදානිය ධර්‍මයන්හි ආදීනවය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.