1. 6. 4.
දුතිය සංයෝජන සූත්රය
54. සැවැත්නුවර–
මහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් යම්සේ දැල් වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් බහන්නේ ද, වැටිය සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් දිලෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්රත්යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා යම්සේ තෙල්පහනෙක් දැල්වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් නො බහන්නේ නම් වැටියත් නො සකස් කරන්නේ නම්, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන පළමු තෙල් දවා ලීමෙනුත් අනෙක් තෙලක් නො ගැණීමෙනුත් ප්රත්යය රහිත වූයේ නිවෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වෙයි.
1. 6. 5.
මහාරුක්ඛ සූත්රය
55. සැවැත්නුවර–
මහණෙනි, උපාදානිය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්රත්යයයෙන් උපාදාන වෙයි ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජස උඩට ගෙණ යයි. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් පවත්නේ ය.
මහණෙනි, එපරිද්දෙන් ම උපාදානිය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්රත්යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, උපාදානිය ධර්මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වේ. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල සිඳින්නේ ය. මුල සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා යටත්පිරිසෙයින් සුවඳහොට මුල් පමණ වූත් මුල් උදුරන්නේ ය. හෙතෙමේ ඒ රුක කඩ කඩ කොට සිඳින්නේ ය. කඩ කඩ කොට සිඳ පලන්නේ ය. පලා කැබලි කැබලි කරන්නේ ය. කැබලි කැබලි කොට අවුසුලඟෙහි වියලන්නේ ය. අවුසුලඟෙහි වියලා ගින්නෙන් දවන්නේ ය. ගින්නෙන් දවා හළු කරන්නේ ය. හළු කොට මහසුලගෙහි හෝ පොලා හරින්නේ ය. සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ හිස් සුන් තල්ගසක් මෙන් කරණ ලද්දේ, නො වැඩෙන බවට පමුණුවන ලද්දේ මතු නූපදනා ස්වභාව ඇත්තේ වන්නේ ය.
මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.
1. 6. 6.
දුතිය මහාරුක්ඛ සූත්රය
56. සැවැත්නුවර–
මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.