1. 6. 2.
උපාදාන සූත්රය
52. සැවැත්නුවර–
මහණෙනි, උපාදානයන්ට ප්රත්යය වූ ධර්මයන් විෂයෙහි ආස්වාදය අනුව බලමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වෙසෙසින් වැඩේ. තෘෂ්ණාප්රත්යයයෙන් උපාදාන වේ. උපාදානප්රත්යයයෙන් භවය වේ. භවප්රත්යයයෙන් ජාතිය වේ. ජාතිප්රත්යයයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ දරගැල් දසයක හෝ දරගැල් විස්සෙක හෝ දරගැල් තිසෙක හෝ දරගැල් සාළිසෙක හෝ මහගිනිකඳෙක් යම්සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි වියළිතණත් බහා ලන්නේ ද, වියළි ගොමත් බහා ලන්නේ ද, වියලි දරත් බහා ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහගිනිකඳ ඒ ආහාර ඇත්තේ උපාදාන ඇත්තේ ඉතා දිගු කලක් දිලෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාප්රත්යයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, උපාදානිය ධර්මයන්හි දෝෂ නැවත නැවත දකිමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, දරගැල් දසයක හෝ දරගැල් විස්සෙක හෝ දරගැල් තිසෙක හෝ දරගැල් සාළිසෙක හෝ මහගිනිකඳෙක් යම්සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල වියළි තණත් එහි නො ලන්නේ ද, වියළි ගොමත් එහි නො ලන්නේ ද, වියළි දරත් එහි නො ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහගිනිකඳ පළමු දර දැවීමෙනුත් අනෙක් දර නො ගැණීමෙනුත් ප්රත්යය රහිත වූයේ නිවෙන්නේ ය.
මහණෙනි, එසෙයින්ම උපාදානිය ධර්මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලුව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 6. 3.
සංයෝජන සූත්රය
53. සැවැත්නුවර–
මහණෙනි, සංයෝජනයන්ට ප්රත්යය වූ ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණාප්රත්යයෙන් උපාදාන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් දැල් වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් බහන්නේ ද, වැටිය සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් දිලෙන්නේ ය.
මහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්රත්යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, සංයෝජනීය ධර්මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
මහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් දැල් වෙන්නේ ද, පුරුෂ තෙමේ කලින් කල එහි තෙල් නො බහන්නේද, වැටියත් නො සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන පළමු තෙල් දැවීමෙනුත් අනෙක් තෙලක් නො ගැණීමෙනුත් ප්රත්යය රහිත වූයේ නිවෙන්නේ ය.
මහණෙනි, එසෙයින්ම සංයෝජනීය ධර්මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වෙයි ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 6. 4.
දුතිය සංයෝජන සූත්රය
54. සැවැත්නුවර–
මහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහනෙක් යම්සේ දැල් වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් බහන්නේ ද, වැටිය සකස් කරන්නේ ද, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් දිලෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණා ප්රත්යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
මහණෙනි, තෙලත් නිසා වැටියත් නිසා යම්සේ තෙල්පහනෙක් දැල්වෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල එහි තෙල් නො බහන්නේ නම් වැටියත් නො සකස් කරන්නේ නම්, මහණෙනි, මෙසේ ඒ තෙල්පහන පළමු තෙල් දවා ලීමෙනුත් අනෙක් තෙලක් නො ගැණීමෙනුත් ප්රත්යය රහිත වූයේ නිවෙන්නේ ය.
මහණෙනි, එසෙයින් ම සංයෝජනීය ධර්මයන්හි දෝෂය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වෙයි.