1. 5. 9.
පඨම අරියසාවක සූත්‍රය
49. සැවැත්නුවර–
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මේ වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. ... ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත (අනුන්ගේ පිහිටක් නැතිව) ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් උපදී” ය යි මෙසේ දැනගනී.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් නැති කල්හි කිමෙක් නො වේ ද, කුමක් නිරුද්ධවීමෙන් කිමෙක් නිරුද්ධ වේ ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙද් ද, කුමක් නැති කල්හි විඥානය නො වේ ද, කුමක් නැති කල්හි නාමරූප නො වේ ද, කුමක් නැති කල්හි ෂඩායතන නො වේ ද, කුමක් නැති කල්හි ස්පර්‍ශය නො වේ ද, කුමක් නැති කල්හි වේදනාව නො වේ ද, කුමක් නැති කල්හි තෘෂ්ණාව නො වේ ද, කුමක් නැති කල්හි උපාදාන නො වේ ද, කුමක් නැති කල්හි භවය නො වේ ද, කුමක් නැති කල්හි ජාතිය නො වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ” යි මෙබඳු සිතෙක් නො වෙයි.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය නැති කල්හි මෙය නො වෙයි. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙති. සංස්කාර නැති කල්හි විඥානය නො වේ. විඥානය නැති කල්හි නාමරූප නොවේ. නාමරූප නැති කල්හි ෂඩායතන නො වේ ... ස්පර්‍ශය නො වේ. ... වේදනාව නො වේ. ... තෘෂ්ණාව නො වේ. ... උපාදාන නො වේ. ... භවය නො වේ ... ජාතිය නො වේ. ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ” යි යන මෙහි ලා පරප්‍රත්‍යය රහිතව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙසේ නිරුද්ධ වේ ය”යි මෙසේ දැන ගණී.
මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ලෝකයේ හටගැණීමත් නැතිවීමත් තතුසේ දැනගනී ද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දිට්ඨිසම්පන්න යයි ද, .. අමාදොරට හැපී සිටී යයි ද කියනු ලැබේ.
1. 5. 10.
දෙවැනි අරියසාවක සූත්‍රය
50. සැවැත්නුවර–
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
වැලිදු මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට “මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්‍යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. නාමරූප ඇති කල්හි ෂඩායතන වේ. ෂඩායතන ඇති කල්හි ස්පර්‍ශය වේ. ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වේ. වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වේ. තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වේ. උපාදාන ඇති කල්හි භවය වේ. භවය ඇති කල්හි ජාතිය වේ. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්‍රත්‍යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් හටගණී ය”යි මෙසේ දැන ගණී.