1. 4. 7.
නතුම්හ සූත්රය
37. සැවැත්නුවර–
මහණෙනි, මේ කය තොපගේ නො වේ. අනුන්ගේ ද නො වේ. මහණෙනි, මේ පුරාණ කර්මයෙකි. ප්රත්යයයෙන් කරණ ලද්දේ ය. චේතනාව මුල් කොට ඇත්තේ ය. වේදනාවට වස්තු වූයේ යයි දතයුතු යි.
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ “අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදුදුක් රැසේ හට ගැණීම වේ. අවිද්යාවගේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදුදුක්රැසේ නිරෝධය වේය යන යමක් ඇද්ද, මෙසේ මෙය ඇති කල්හි මෙය වෙයි. මෙය ඉපදීමෙන් මෙය උපදි. මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ ය” යි පටිච්චසමුප්පාදය ම මනා කොට නුවණින් මෙනෙහි කෙරෙයි.
1. 4. 8.
චේතනා සූත්රය
38. සැවැත්නුවර–
මහණෙනි, යමකුත් සිතයි ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇතිකල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි, වැඩුනු කල්හි මතු පුනර්භවය හටගැණීම වේ. මතු පුනර්භවය හට ගැණීම ඇති කල්හි මතු ජාති ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් අනුසයනය කෙරේ ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානය පිහිටි කල්හි වැඩුනු කල්හි මතු පුනර්භවය හටගැණීම වේ. මතු පුනර්භවය හටගැණීම ඇති කල්හි මතු ජාතිජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැණීම වේ.
මහණෙනි, යම් කලෙක නො ද සිතා ද, නො ද කල්පනා කෙරේ ද, නො ද පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ නො වේ. අරමුණ නැති කල්හි විඥානයේ පිහිටීම නො වේ. ඒ විඥානය නො පිහිටි කල්හි නො වැඩුනු කල්හි මතු පුනර්භවය හට ගැණීම නොවේ. මතු පුනර්භවය හටගැණීම නැති කල්හි මතු ජාති ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
1. 4. 9.
දෙවැනි චේතනා සූත්රය
39. සැවැත්නුවර–
මහණෙනි, යමකුත් සිතා ද, යමකුත් කල්පනා කෙරේ ද, යමකුත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූපප්රත්යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්රත්යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ ... තෘෂ්ණාව ... උපාදාන ... භවය ... ජාතිය ... ජරාමරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හට ගණිත්. මෙසේ මේ හුදු දුක් රැසේ හට ගැණීම වේ.
මහණෙනි, ඉදින් නො සිතා ද, ඉදින් කල්පනා නො කෙරේ ද, එහෙත් නැවත නැවත පවත්වා ද, මෙය විඥානයේ පැවැත්මට අරමුණ වේ අරමුණ ඇති කල්හි විඥානයේ පිහිටීම වේ. ඒ විඥානයේ පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයේ බැස ගැන්ම වේ. නාමරූප ප්රත්යයයෙන් ෂඩායතන වේ. මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වේ.