1. 4. 4.
දුතියඤාණවත්‍ථු සූත්‍රය
34. සැවැත්නුවර–
මහණෙනි, තොපට සත්සැත්තෑ නුවණ දේශනා කරන්නෙමි. එය අසවු ... මහණෙනි, සත්සැත්තෑ නුවණ කවර යත්:
ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, අතීත කාලයෙහි ද ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වී ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, අනාගත කාලයෙහි ද ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වන්නේ ය යි දන්නා නුවණ ය, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැයි දන්නා නුවණ ය, යම් ඒ (යථෝක්ත) ප්‍රත්‍යයාකාර ඥානයක් වන්නේ නම් එ ද ක්‍ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වාභාව ඇත්තේ ය, විරාග ස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ ය යි දන්නා නුවණ ය.
භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ය යි දන්නා නුවණ ය ... උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ය යි. දන්නා නුවණ ය ... තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය යි දන්නා නුවණ ය ... වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය යි. දන්නා නුවණ ය ... ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය යි දන්නා නුවණ ය ... ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ය යි දන්නා නුවණ ය ... නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ය යි දන්නා නුවණ ය ... විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ ය යි දන්නා නුවණ ය … සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ය යි දන්නා නුවණ ය ...
අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැ යි දන්නා නුවණ ය, අතීතකාලයෙහිත් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වූහ යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැයි දන්නා නුවණ ය, අනාගතකාලයෙහිත් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වන්නාහ යි දන්නා නුවණ ය, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැතැයි දන්නා නුවණ ය, යම් ඒ ප්‍රත්‍යායකාරඥානායක් වන්නේ නම් එය ක්‍ෂය ස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාග ස්වභාව ඇත්තේ ය, නිරෝධ ස්වභාව ඇත්තේ ය යි දන්නා නුවණ ය. මහණෙනි, මේ සත්සැත්තෑනුවණ ය යි කියනු ලැබෙයි.
1. 4. 5.
අවිජ්ජාදිපච්චය දේසනා සූත්‍රය
35. සැවැත්නුවර–
මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හට ගැන්ම වෙ යි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද? ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජරාමරණ කවරේ ද? මේ ජරාමරණ කවරකුගේ ද?” යි මෙසේ හෝ කියන්නේ ද, මහණ, යමෙක් “ජරාමරණ අනෙකක මේ ජරාමරණ අනෙකකුගේ ය” යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
මහණ, “එය ජීව ය, එය ශරීර ය”යි (උචේඡද) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරිය (ආර්‍ය්‍යමාර්‍ග වාසය) නො වේ. මහණ, “ජීවය අනෙකක, ශරීරය අනෙකකැ”යි (ශාශ්වත) දෘෂ්ටිය හෝ ඇති කල්හි බ්‍රහ්මචරියවාසය නො වේ. මහණ ඒ මේ අන්තදෙකට නො පැමිණ තථාගත තෙමේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ”යි මැදුම්පිළිවෙතින් දහම් දෙසයි.
වහන්ස, “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ ද?” ප්‍රශ්නය නො යෙදේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යමෙක් “ජාතිය කවරක් ද? මේ ජාතිය කවරකුගේ දැ”යි මෙසේ හො කියන්නේ ද, මහණ, යමෙක් “ජාතිය අනෙකක, මේ ජාතිය අනෙකකුගේ ය”යි මෙසේ හෝ කියන්නේ ද, මේ දෙක ම ඒකාර්‍ත්‍ථ ය. ව්‍යඤ්ජන ම වෙනස් ය.
මහණ, “ඒ ජීවය, ශරීරය” යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නොවේ. මහණ, “ජීවය අනෙකක ශරීරය අනෙකෙකැ”යි කියා හෝ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරිය වාසය නො වේ. මහණ, මේ අන්ත දෙකට නො පැමිණ තථාගත තෙමේ “භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ” යි මැදුම් පිළිවෙතින් දහම් දෙසයි.