1. 4. 2.
කළාර සූත්රය
32. සැවැත්නුවර–
ඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වන්සේට මෙය සැළ කළේ ය.
ඇවැත්නි, ශාරීපුත්රයෙනි, මොලියඵග්ගුණ මහණ තෙමේ ශික්ෂාව හැර දමා ගිහිබවට පෙරලුනේ ය. ඒ ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් මෙසස්නෙහි පිහිටක් නො ලැබී ය. එහෙත් ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ මෙසස්නෙහි පිහිට ලැබූ සේක. “ඇවැත්නි, මම සැක නො ම කරමි” ඇවැත්නි, මතු පිළිසඳ කෙසේ ද? “ඇවැත්නි, මම විචිකිච්ඡා නො ම කරමි”.
ඉක්බිති කළාරඛත්තිය මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කළාරඛත්තිය මහණ තෙමේ භාග්යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ විසින් ‘ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ’ යි මෙසේ රහත්බව පවසන ලදැ”යි තෙල සැළ කළේ ය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, එව, තෙපි මාගේ වචනයෙන් “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, ශාස්තෲන් වහන්සේ තොප අමතන සේකැ” යි සැරියුත් අමතවුයි. ඒ මහණ තෙමේ වහන්ස, එසේ ය යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, ශාස්තෲන් වහන්සේ තොප කැඳවන සේකැ”යි මෙය කී ය. ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙමේ ඇවැත්නි, එසේ ය යි ඒ මහණහට පිළිතුරු දී භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන්ට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ශාරීපුත්ර, තොප විසින් “ජාතිය ක්ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කට යුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි මෙසේ දනිමි”යි රහත්බව පවසන ලද්දේ සැබෑ ද? වහන්ස, මේ පදවලින් මේ බ්යඤ්ජනවලින් නොම කීමි. එහෙත් මා විසින් අර්ත්ථය (=රහත්බව) කියන ලදී. ශාරීපුත්ර, කුලපුත්තෙමේ යම් කිසි ක්රමයකිනුදු රහත්බව පවසයි. වැලිදු පවසන ලද්ද පවසන ලද්ද වශයෙන් දැක්ක යුතු ය. වහන්ස, “මේ පදවලින් මේ බ්යඤ්ජනවලින් නොම කීමි. එහෙත් මා විසින් අර්ත්ථය කියන ලද්දේ ය” යි වහන්ස, මම ද මෙසේ නො කියම් ද?
ශාරීපුත්ර, ඉදින් “කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ තොප විසින් ‘ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි රහත්බව පවසන ලදදැ” යි මෙසේ තොප විචාරන්නාහු නම් ශාරීපුත්ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි ප්රකාශ කරවු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, කෙසේ දන්නා වූ කෙසේ දකිනා වූ තොප විසින් ‘ජාතිය ක්ෂය වූවා ය, බඹසර වැස නිමවන ලදී, කටයුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැයි දනිමි’යි රහත් බව පවසන ලදදැ”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ ප්රකාශ කරන්නෙමි:
“ඇවැත්නි, ජාතිය යමක් නිදාන කොට ඇත්තී ද, ඒ නිදානය ගෙවී යෑමෙන් ක්ෂය වූ කල ක්ෂය වී යයි දන්නා ලදී. ක්ෂය වූ කල ක්ෂය වූයේ යයි දැන, ජාතිය ක්ෂය වූවා, බඹසර වැස නිමවන ලදී, කට යුතු කරණ ලදී, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, ජාතිය කුමක් නිදාන කොට ඇත්තී ද, කුමක් කරුණු කොට ඇත්තී ද, කුමක් ඉපැද්ම කොට ඇත්තී ද, කුමක් ප්රභව කොට ඇත්තී දැ” යි මෙසේ තොප විචාරන්නාහු නම්, ශාරීපුත්ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි පවසන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, ජාතිය කුමක් නිදාන කොට, කුමක් කාරණ කොට, කුමක් ජාති කොට, කුමක් ප්රභව කොට ඇත්තී දැ යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස , එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, ජාතිය භවහ නිදාන කොට, භවය හටගැණීම් කොට, භවය ඉපැද්ම කොට, භවහ ප්රභව කොට ඇත්තී ය යි වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.
ශාරීපුත්ර, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, භවය කුමක් නිදාන කොට කුමක් හටගැණීම් කොට, කුමක් ඉපැද්ම කොට, කුමක් ප්රභව කොට ඇත්තේ දැ?”යි මෙසේ තොප විචාරන්නාහු නම්,: ශාරීපුත්ර, එසේ විචාරණ ලද තෙපි කුමැ යි ප්රකාශ කරන්නහු ද?
වහන්ස, ඉදින් “ඇවැත්නි, ශාරීපුත්රයෙනි, භවය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් හටගැණීම් කොට ඇත්තේ ද, කුමක් ඉපැද්ම කොට ඇත්තේ ද, කුමක් ප්රභව කොට ඇත්තේ දැ”යි මෙසේ මා විචාරන්නාහු නම්, වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි: ඇවැත්නි, භවය උපාදාන නිදාන කොට ඇත්තේ ය, උපාදාන හටගැණීම කොට ඇත්තේ ය, උපාදාන ඉපැද්ම කොට ඇත්තේ ය, උපාදාන ප්රභව කොට ඇත්තේ ය යි. වහන්ස, එසේ විචාරණ ලද මම මෙසේ පවසන්නෙමි.